Sep 30, 2018

2019දී ආරක්ෂක වියදම රු. බිලියන 306ක් Featured

ලබන වසර සඳහා වන ආරක්ෂක වියදම රු. බිලියන 306කටත් වඩා ඉහළ යනු ඇති බව 2019 පරිපූරක ඇස්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම වසර සඳහා එය රු. බිලියන 290ක් විය.

ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මේ වන විට ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

එයට අනුව, පුනරාවර්තන වියදම රු. බිලියන 275ක් වන අතර, ප‍්‍රාග්ධන වියදම රු. බිලියන 32ක් පමණ වේ.

ආරක්ෂක අමාත්‍යංශය, යුද, නාවික හා ගුවන් හමුදා මෙන්ම සිවිල් ආරක්ෂක හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු සඳහා ආරක්ෂක වියදම යෙදවේ.

මේ අතර, කෘෂිකර්මාන්ත අංශය සඳහා වන අයවැය ප‍්‍රතිපාදනය රු. බිලියන 63 දක්වා තුන් ගුණයකින් ඉහළ යනු ඇති අතර, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, නගර නිර්මාණ හා ජල සම්පාදන, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ මෙන්ම ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපාදන ද ඉහළ දමා ඇත.

ලබන වසර සඳහා වන රජයේ සමස්ත වියදම රු. බිලියන 2,281.5ක් ලෙසින් ගණන් බලා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top