Oct 01, 2018

දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි - ශිවශක්ති

මෙරට බන්ධනාගාර තුළ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන නියෝජිතයින් හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අද(01) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස උපවාසයක නිරතව සිටී.

කිසිදු නඩු විභාගයක් නොපවත්වා දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින සියලුම වර්ගයේ දේශපාලන සිරකරුවන් වහාම රජය මැදිහත් වී නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් උපවාසය සංවිධානය කොට තිබිණ.

"දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුව" හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් උපවාසය සංවිධානය කොට තිබිණ.

විරෝධතාවයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා අදහස් දක්වමින්,

"ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් ගතවෙලා තියෙනවා. ඒ වගේම යුද්ධයෙන් හමාරවී වසර 09 ක් ගතවෙලා තියෙනවා. නමුත් වසර ගණනාවක් පුරාවට ලංකාවේ බන්ධනාගාර තුළ කිසිම නඩු විභාගයක් නැතිව මේ දේශපාලන සිරකරුවන් සිරගත වෙලා ඉන්නවා.ඒ අයට කිසිදු පියවර අරගෙන නැහැ.

මේ වෙද්දිත් අනුරාධපුරයේ බන්ධනාගාරයේ සිටින දේශපාලන සිරකරුවන් පිරිසක් ආහාර ගැනීම වර්ජනය කරමින් විරෝධතාවයක නිරතවෙලා ඉන්නවා තමන්ට නිදහස දෙන්න කියලා.
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් කඩිනම් පියවරක් මේ රජය ගත යුතුයි. මොකද සාමය ගැන කතාකරන මේ රජය මේ අය ගැන නොසැලකිල්ලක් දක්වන්නේ ඇයි? මේ අයට නඩු තියෙනවා නම් ඒවා අහල ඉවර කරන්න ඕනේ" යැයි පැවසීය.

විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ශිවශක්ති ආනන්දන් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top