Sathosa

Oct 02, 2018

'අරලියගහ මන්දිරයට යන්න 2030 වනතුරු බලාගෙන ඉන්නේ නෑ' - සජිත්

සජිත් ප්‍රේමදාසට අරලියගහ මන්දිරයට හා ජනපති මන්දිරයට යෑමට වසර 2030 වනතුරු බලා සිටීමට සිදුවන බව පොහොට්ටුවේ ඇතැමුන් ප්‍රකාශ කළද ඒ ආකාරයට 2030 තෙක් බලා සිටීමට තමන්ට අවශ්‍ය නොවන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.


තමන් අරඹා ඇති උදාගම්මාන 20,000ක වැඩපිළිවෙළ 2025දී අවසන් කර රටේ සියලු දෙනාට සෙවණ ලබාදීම තම අරමුණ බව ඔහු අවධාරණය කර සිටියි.

විරුද්ධවාදීන් බලය ගැන සිතාබලමින් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ අරලියගහ මන්දිරයට යෑම පමණක් වුවද පොහොට්ටුවේ හාදයන්ට මෙන් තමන්ට බලයට කෑදරකමක් නොමැති බවත් තමන්ට අවශ්‍යව ඇත්තේ හිසට සෙවණක් නැති අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේ සිහිනය සැබෑවක් බවට පත් කිරීම පමණක් බවද හෙතෙම අවධාරණය කරයි.

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ජයන්තිපුර ඉදිවූ 124 වැනි 'බිසෝවැඩිගම' උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා එබව සඳහන් කළේය.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.

ජනපතිකම හා අගමැතිකම එක් පවුලකට !
"පොහොට්ටුව ඇතුළේ දැන් හොඳ හොඳ සෙල්ලම් සිදු වෙනවා. 2020දී මොකටද සැරසෙන්නේ කියා පොහොට්ටුවේ බුද්ධිමත් පිරිසකට දැන් තේරී තිබෙනවා. 2020දීත් රටේ අයිතිය, භූමියේ අයිතිය, රාජ්‍යත්වයේ අයිතිය මෙන්ම ජනපතිකම හා අගමැතිකම එක් පවුලකට ලබාගන්නට සූදානම් වන බව අද ඔවුන්ට තේරී තිබෙනවා."

"අද ඔවුන් එළිපිට ප්‍රශ්න කරනවා. ජනාධිපති, අගමැති වෙන්නට පුළුවන් රාජපක්ෂලාට පමණද කියා. ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක් වන කුමාර වෙල්ගම හිටපු ඇමැතිතුමාත් දැන් ඒ ගැන ප්‍රශ්න කරනවා."

"එක් පවුලකට පමණක් රටේ අයිතිය සින්නක්කරව ලබා දුන්නා නම් දිවංගත රණසිංහ ප්‍රේමදාස මාගේ පියාණන්ට නාගරික මන්ත්‍රිකමේ සිට ජනාධිපතිකම දක්වා එන්නට පුළුවන්ද?"

"හැකියාව, දක්ෂතාව කැපවීම, කඩිසරකම හා අධිෂ්ඨානය තිබෙනවා නම් ගමේ සිටින අසරණ දූ දරුවන්ටත් මන්ත්‍රි, අගමැති, ජනාධිපති වන්නට පුළුවන්. ඒ අයටත් සිහින මවන්නට පුළුවන්."

"නමුත් කවමදාකවත් පොහොට්ටුවේ යුගයක් තුළ එය ඉටු කර ගන්නට බැහැ. පොහොට්ටුවේ කුමාර වෙල්ගම වැනි නායකයන් අද එළිපිට ඒ ගැන ප්‍රශ්න කරන්නේ මේ නිසා තමයි. රටේ නායකත්වය ලබාදීම පුද්ගලයකුගේ වාසගමින් තීරණය කරන්නට හොඳ නැහැ."

'පියා උරුමයෙන් රටේ නායකත්වය උරුමවෙන්නේ නැහැ' 
"මගේ පියා හිටපු ජනාධිපති මෙන්ම හිටපු අගමැති. මගේ පියා ජනාධිපති හා අගමැති වූ පමණින් මට රටේ නායකත්වයට උරුමයක් නැහැ. මා එයට සුදුසු නම්, මට හැකියාව තිබේ නම්, පොඩි මිනිසා වෙනුවෙන් මහන්සි වෙනවා නම්, එවිට එය ජනතාවට තීන්දු කරන්නට පුළුවන්."

"දේශපාලනය තුළ අප ගෙදර යැවීම හෝ දිනවීම තීරණය කිරීම රටේ ජනතාව සතුයි. එය තීරණය කිරීමේදී සොයා බලන්න ඕනෑ හැකියාව, දක්ෂතාව මිසක්, පවුල් පසුබිම හෝ මවගේ පියාගේ නාමය, වාසගම නෙවෙයි."

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top