Sathosa

Oct 02, 2018

"තද සුළං සහ වැසි ඇතිවීමේ අවදානමක්"

මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙරළ තීරයට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 ක් දක්වා වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් කරයි.

මේ පිළිබඳ අවධානයෙන් සිටින මෙන් එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ධීවර සහ නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලීමක් කළේය.

විශේෂයෙන්ම සඳුදා (ඔක්තෝබර් 01) ආනමඩුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් හරහා හමා ගිය සුළඟින් නිවාස 100 කට පමණ අර්ධ හානි වාර්තා වී තිබේ.

ආනමඩුව හරහා හමා ගිය තද සුළගින් විදුලිබල මණ්ඩලයට බරපතල හානි සිදුව ඇති අතර, ප්‍රදේශයේ දුරකථන රැහැන් පද්ධතියට ද හානි සිදුවිය.

සුළි කුණාටුවත් සමග ප්‍රදේශයේ විදුලිය විසන්ධි වූ අතර මාර්ග රැසකට ගස් කඩා ගෙන වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලටද දැඩි ලෙස බාධා එල්ල විය.

 ආනමඩුවේ තත්වය

 විදුලි සැපයුම තවමත් යථා තත්වයට පත්ව නැතත්, සඳුදා පස්වරුවේම පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ යුද හමුදාව එක්ව ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වූහ.

ආඬිගම ප්‍රදේශයේ පාසල් දෙකක ගොඩනැගිලි වලට හා උපකරණ වලට බරපතල හානි සිදුව තිබූ බැවින් එම පාසල් වසා දැමීමට ද සිදුවිය.

ශ්‍රී ලංකාවේ සෑම නිවසක්ම රුපියල් ලක්ෂ විසිපහකට රක්ෂණය කර ඇති බැවින් පැය විසිහතරක් තුළ විපතට පත්වූවන්ට වන්දි ලබා දීමට ක්‍රියා කරන බව, ප්‍රදේශය නියෝජනය කරන ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේය.

මධ්‍යම කඳුකරය, වයඹ, ඌව, සබරගමුව සහ දකුණු ඇතුලු පළාත් රැසකට ඉදිරි දිනයේත් තද වැසි ඇතිවිය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

විශේෂයෙන්ම පසුගිය දිනවල එල්ල වූ අකුණු හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා ලැබී තිබේ.

එබැවින් අකුණු අනතුරු අවම කරගැනීම පිණිස කුඹුරු, පිට්ටනි වැනි එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වලකින මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන ප්‍රදීප් කොඩිප්පිලි අකුණු අවදානමක් පවතින විට නිවාසවල විදුලි පරිපථ විසන්ධි කරන මෙන් ද විශේෂ ඉල්ලීමක් කරයි.

යම් අනතුරක් හෝ අවදානමක් ඇත්නම් 117 දුරකථන අංකයට අමතා දැනුම් දෙන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top