Oct 03, 2018

"ආර්ථිකය ගොඩගන්න මහින්ද-මෛත්‍රි එකතු විය යුතුයි" -එස්.බී Featured

රුපියල අවප්‍රමාණය වීම ඇතුළු වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකතුවකින් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ පහළොස් දෙනාගේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා 'නෙත් නිව්ස්' වෙත පැවසිය.

වර්තමානයේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති කිසිසේත්ම සුභදායක නොවන බවත් රට තුළට ආයෝජන කිරීමට ව්‍යාපාරිකයන්ට විශ්වාසයක් නැති බවත් ඔහු එහිදී කියා සිටියේය.

අපනයන ආර්ථිකය කඩා වැටීමට වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය ද හේතු වූ බව මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසිය.

විදේශ ආයෝජකයින්ට සුදුසු වටපිටාවක් රට තුළ කඩිනමින් නිර්මාණය කළ යුතු බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වාසු ජනපති හමුවීමේ සුදානමක !

 මේ අතර රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ඉදිරි දිනකදී ජනාධිපතිවරයා හමුවීමට සුදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එහි නියෝජිතයන් මේ බව අනාවරණ කළේ ඊයේ (02) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසුවය.

කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර එම ස්ථානයෙන් පිටව ගියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top