Oct 05, 2018

මහින්ද පොහොට්ටු සාමාජිකත්වය නොගනියි ! Featured

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වීමේ ඉඩක් ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වත්මන් පාර්ලිමේන්තුවේ ධූර කාලය අවසන් වෙන තෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය හෝ එහි නායකත්වය නොගන්නා බව අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකත්වය ගන්නා බවට ප්‍රකාශ කළත් එයින් අදහස් වන්නේ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් ලියාපදිංචි දේශපාලන පක්ෂයේ නායකත්වය ගැනීම නොවන බවත්, ඒකාබද්ධ පොදුජන පෙරමුණ නම් නාමික පෙරමුණේ නායකත්වය ගැනීම පමණක් වන බවත් මේ පිළිබඳව එම පුවත්පතට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් ව සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගතහොත් එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වෙයි.

මේ මොහොතේ මන්ත්‍රීධූරය අහිමි වුවහොත් පුරප්පාඩුවට වෙනත් මන්ත්‍රීවරයකු පත් කර ගැනීමේ හැකියාව ඇති නිසා එය මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට වාසිදායක වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ යනු ලියාපදිංචි දේශපාලන පක්ෂයෙක් නොවන බවත්, ඒකාබද්ධ විපක්ෂයේ සිටින සියළු පක්ෂ හැඳින්වීම සඳහා පාවිච්චි කරන පෙරමුණු නාමයක් පමණක් වන බවත් එම නායකයා පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ සංකේතය ලෙස පාවිච්චි කරන්නේ ද නෙළුම් පොහොට්ටුව ලකුණයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top