Dec 29, 2016

'එයාල ටොප් ටෙන් කියද්දී අපි ටොප් හන්ඩ්‍රඩ් කියනවා'

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය සුපිරි ඇමතිලා බිහිකිරීමට නොව සුපිරි රටක් බිහිකිරීමට බවත්, බැසිල්ලා, නාමල්ලා සුපිරි ඇමති ජීවිත ගතකරද්දී නව පනතට විරුද්ධවන අය කිසිත් නොකියා සිටි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

"දවල් මිගෙල් රෑ ඩැනියෙල්"

සංවර්ධන පනත පරාජය කිරීමට කටයුතු කරන පිරිස් සිටින්නේ දවල්ට‍ මෛත්‍රී සමග බවත්, රෑට මහින්ද සමග බවත්, මේ නිසා ඔවුන් "දවල් මිගෙල් රෑ ඩැනියෙල්" චරිතය රඟපාන පිරිසක් බවත් නලීන් බණ්ඩාර මහතා පවසයි.

පනත පරාජය වුවද නැවත එය ගෙන එන බව සිරිකොතදී අද පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේය.

සුපිරි ඇමති ද? සුපිරි රටද?

සුපිරි ඇමති කියා ඇමතිවරු විශේෂයක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය රට සංවර්ධනය කිරීම බවත්, පැවසූ මන්ත්‍රීවරයා කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට ජනවාරී මස 03 වැනිදා අගමැතිවරයා අතින් මුල්ගල තැබෙන බවද කියා සිටියේය.

එසේම ඊට සමගාමිව තවත් කර්මාන්ත ශාලා කිහිපයක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

එම මාධ්‍ය හමුවට එක්වූ පා.ම කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ චීනය සමග එක්ව ආරම්භ කරන හම්බන්තොට කර්මාන්ත කලාපයෙන් ලක්ෂ 4ට රැකියා ලබාදෙන බවයි.

සුපිරි ඇමතිගේ අමාත්‍යංශයට එරෙහිව නඩු දැමීමට නොහැකියැයි පවසන කතාව බොරුවක් බවද පැවසූ මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ සමග එක්සත් ජාතික පක්ෂයට කිසිදු ඩීල් එකක් නැතැයිද අවධාරණය කළේය.

ඒකාබද්ධ විපක්ෂය ටොප් ටෙන් ගැන හෙළි කරන නිසා ටොප් හන්ඩ්‍රඩ් ගැන හෙළි කිරීමට සුදානම් බවද මෙහිදී කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top