nsb
Sathosa

''අපි මෛත්‍රීව සලකන්නේ මේ අර්බුදයේ පාර්ශ්වකරුවෙක් විදියට'' - බැසිල් රාජපක්ෂ ''අපි මෛත්‍රීව සලකන්නේ මේ අර්බුදයේ පාර්ශ්වකරුවෙක් විදියට'' - බැසිල් රාජපක්ෂ
Oct 09, 2018

''අතරමග අම්බලම් නැහැ'' : භාරකාර ආණ්ඩුවකට බැසිල් එරෙහිවේ ! Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ (පොහොට්ටුවේ) හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැඩි ලෙස විරෝධය පළකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

'ලංකාදීප' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා සමග කල සාකච්ඡාවකදී ද ඔහු එම කාරණය පැහැදිලිව ප්‍රකාශකර ඇත.

''අතරමැදි ආණ්ඩු පෙරළියකට ඔබ සූද‌ානම් නැහැ'' නේදැයි මාධ්‍යවේදියා කල විමසීමට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කර තිබේ.

''මගේ පෞද්ගලික මතය නම් මේ ගමනේ අතරමග අම්බලම් නැහැ කියලයි. නමුත් වැඩි දෙනෙක් ඉන්නේ අතරමග පියවරවල් ගන්න වෙනවා මේ තියෙන තත්ත්වය උඩ කියලයි. එහෙම ගන්නත් ඉඩ තියෙනවා. ඒත් මම ඒකට අභියෝග කරන්නේ නැහැ. නමුත් අපි යන ඉලක්කය වෙන පැත්තකට යවන්න මම සූද‌ානම් නැහැ.''

ආණ්ඩු පෙරළියකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය අවශ්‍ය නොමැති බව පවසන බැසිල් රාජපක්ෂ මහතා, '' අපි මේ අර්බුදයේ පාර්ශ්වකරුවෙක් විදියට තමයි ඔහුව සලකන්නේ. ඒ නිසා අපිට ඔහු අද‌ාළම නැහැ. ඔහුව අද‌ාළ කරගෙන අපිට සටන් කරන්නත් බැහැ කියන එකයි මගේ මතය.''

Ranjith de Soyasa''මෛත්‍රීව විශ්වාස කරන්න බැහැ'’ - රංජිත් ද සොයිසා

මේ අතර 'මව්බිම' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් දෙමින් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පවසන්නේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ විශ්වාස කිරීම බරපතළ ගැටලුවක් නිසා ජනාධිපතිතුමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බවත් එවැනි කාරණයකට තමා පෞද්ගලිකව විරුද්ධ බවත් ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි විශ්වාසය තැබිය හැකි කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇති බවත් අවස්ථා ගණනාවකදීම ජනාධිපතිතුමා විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ විශ්වාසය කඩකර තිබෙන බවත් රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

චෝදනා පත්‍රයක් !

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සහාය ලබා ගන්නා විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ප්‍රකාශ කළද වසර 3 1/2ක් ගත වී ඇතත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු නොකිරීම,

2015 අගෝස්තු පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින 3කට පෙර, දිනුවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බව ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරුන් වෙනස් කිරීම,

ප්‍රජාතන්ත්‍ර විරෝධී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අහෝසි කරන බවට ප්‍රකාශ කළද තවමත් එය නොකිරීම,

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර වීමට අවශ්‍ය කරන සහයෝගය ලබා නොදීම,

ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තු විපක්‍ෂයේ බහුතරය තිබිලත් විපක්ෂනායක ධුරය ලබා නොදීම,

වැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ විශ්වාසය කඩකර තිබෙන බවද රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

එම නිසා භාරකාර ආණ්ඩුව පිහිටුවීමට පෙර විශ්වාස කළ හැකි යම් යම් ක්‍රියා ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුතු බවත් ඒ වන තුරු ඒකාබද්ධ විපක්‍ෂයට ජනාධිපතිතුමා කෙරෙහි කිසිදු විශ්වාසයක් ඇති නොවන බවත් රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

තීරණාත්මක සාකච්ජාවක් :

මේ දිනවල මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්ව ඇති භාරකාර ආණ්ඩු යෝජනාව සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් අද (09) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබියදී බැසිල් රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයා කරන මෙම ප්‍රකාශ දේශපාලනික වශයෙන් අතිශයින් වැදගත්වේ.

මෙම විශේෂ හමුව සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන මන්ත්‍රීන් සියළු දෙනාට ආරාධනා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top