Sathosa

Oct 09, 2018

'ආණ්ඩු පෙරළියකට අපි නැහැ' - මරික්කාර් කියයි

වත්මන් ආණ්ඩුව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහා ලැබෙන අවධානය ඉතා අඩු බවත්, එබැවින් ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අසරණ වී ඇති බවත් පවසන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා, එසේ වුවද එය ආණ්ඩු පෙරළියකට දායක වීමක් ලෙස වරදවා වටහා නොගන්න ලෙස ඉල්ලා සිටියි.

හෙතෙම මේ බව පැවසුවේ, රුපියල් මිලියන 262ක ප්‍රතිපාදනයෙන් කොළොන්නාවේ වැසි ජල අපවහනය ව්‍යපෘතිය යටතේ ග්‍රාමීය පාලම් 25ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කෙනෙකුගේ තත්ත්වය, විපක්‍ෂයේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකුටත් වඩා හරිම ඛේදනීයයි, කනගාටුදායකයි. අපට වැඩ කරපු පාක්‍ෂිකයන්ට රස්සාවක් දීගන්න බෑ. ඇමතිවරු තමන්ගේ අමාත්‍යාංශවල රස්සා හාරපන්සීය තනියම ගිලගන්නවා, මන්ත්‍රීලට දෙන්නෙ නෑ.

එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඉඳහිට රස්සාවක් දෙකක් දෙන්නෙ. සමහරක් ඇමතිවරු පසුපෙළ මන්ත්‍රීවරුන්ට උදවු කරනවා. අතළොස්සක් එහෙම උදවු කරද්දී බහුතරය එහෙම උදවු කරන්නේ නෑ. ඒ නිසා ආණ්ඩුවේ ඉන්නකොට පසුපෙළ මන්ත්‍රීවරු සුඛෝපභෝගී ජීවිත ගතකරනවා, වරප්‍රසාද වරදාන සේරම හම්බවෙනවා, ජනතාවට වැඩ කරන්න ඕන තරම් ශක්තිය තියෙනවා කියන එක තමයි සමාජයේ පොදු මතය.

නමුත් එහෙම එකක් නෑ. අපි පොදු වැඩ කරන්න මුදල් හොයාගන්නේ දණගාල, බඩගාල තමයි. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කවුරුවත් පාරවල් හදන්න ඉල්ලන්නේ නෑ. රස්සාවල් ඉල්ලන්නේ නෑ. ගෙවල් ඉල්ලන්නේ නෑ. සමෘධිය ඉල්ලන්නේ නෑ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇවිල්ලා ඒවා ඉල්ලනවා. ඒවා දෙන්න බැරි වුණාම අපි අසරණ වෙනවා. මේ අවුරුදු තුනහමාරෙ එහෙම අත්දැකීම් එමටයි.

මට හිතෙනවා මේ ආණ්ඩු කාලය තමයි ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු වැඩිපුර අසරණ වුණේ කියල. එහෙමයි කියල ඒක ආණ්ඩු පෙරළියකට දායක වීමක් නොවේ. ඒක වරදවා වටහා ගන්නත් එපා'' යැයි පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top