nsb
Sathosa

භාරකාර ආණ්ඩුවකට ආරාධනයකුත් නැහැ; තීරණයකුත් නැහැ .... භාරකාර ආණ්ඩුවකට ආරාධනයකුත් නැහැ; තීරණයකුත් නැහැ ....
Oct 10, 2018

'භාරකාර ආණ්ඩුවක අසුන් ගන්නේ නැහැ' - වෙල්ගම දැඩි තිරණයක Featured

 

භාරකාර හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් විරෝධය නොපාන නමුත් තමන් ආණ්ඩු පක්ෂයේ අසුන් නොගෙන විපක්ෂයේ අසුන් ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත්තේ, භාරකාර ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඊයේ (09) පස්වරුවේ කැඳවා තිබු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වමිනි.

එහිදී වෙල්ගම මන්ත්‍රීවරයාගේ අදහසට එකඟ නොවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ කණ්ඩායමක් ලෙස ගන්නා තීන්දුව කණ්ඩායම සාමූහිකව ක්‍රියාත්මක කළ යුතු බවය.

කෙසේවුවද සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අවසානයේදී තීරණය කර ඇත.

‘‘අපිට ඉන්නේ එක නායකයයි නායකයෝ දෙන්නෙක් නැහැ. ඔබතුමා ගන්න තීරණය උඩ අපි හිටගන්නවා‘‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

 ආණ්ඩුව පැත්තෙන් නිල ආරාධනයක් නැහැ !

 මෙහිදී මන්ත්‍රීවරුන් අමතා ඇති හිටපු ජනාධිපතිවරයා සභාග ආණ්ඩුවකට යෑමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එසේ ගන්නේනම් සියලු දෙනා දැනුම්වත් කරන බවත් පවසා ඇත.

සභාග හෝ බාරකාර ආණ්ඩුවක් පිහිටුවීමක් ගැන ආණ්ඩුව පැත්තෙන් මේ වන තෙක් කිසිදු නිල ආරාධනාවක් ලැබී නැති බව සඳහන් කර ඇති මහින්ද රාජපක්ෂ මහතා, ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වැඩි වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද පෙන්වා දී ඇත.

රට පත්ව ඇති තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ආණ්ඩුව ලබා දුන්නොත් එය බාර ගැනීමට නොපැකිලෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.

කෙසේවෙතත් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි මූලික කටයුතු සිදුකළ යුතු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා එය ඔහු විසින් සිදුකරන තෙක් බලා සිටිය යුතු බවද එහි මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී තිබේ.

සභාග ආණ්ඩුවක් ගැන මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රතිචාර නොදක්විය යුතු බවටද ඔවුන් කතිකා කර ඇත.

 අද තවත් රැස්වීමක් !

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතාගේ නාරාහේන්පිට නීවසේ ඊයේ රාත්‍රියේ පැවැති එම මන්ත්‍රී හමුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන කිසිදු මන්ත්‍රීවරයෙක් කැඳවා නොතිබූ අතර මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමේ කිසිවකු ද කැඳවා නොතිබුණි.

ඒ ගැන සැලකිලිමත් වී ඇති හිටපු ජනාධිපතිවරයා, එම පිරිසද ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද දිනයේ සාකච්ඡා කිරීමට වහා කැඳවන ලෙස දැනුම් දී ඇත.

සබැඳි පුවත් :
''අතරමග අම්බලම් නැහැ'' : භාරකාර ආණ්ඩුවකට බැසිල් එරෙහිවේ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top