Oct 10, 2018

අගමැති රනිල්ට විරෝධය පෑ දෙමළ 04ක් බ්‍රිතාන්‍ය අත්අඩංගුවේ (වීඩියෝ) Featured

බ්‍රිතාන්‍යයේ ඉහළ පෙලේ විශ්ව විද්‍යාල සංගමයක ශ්‍රී ලංකාවේ අගමැතිවරයා දේශනයක් පවත්වද්දී උද්ඝෝෂණයක යෙදුනු දෙමළ පිරිසක් අතරින් සිව් දෙනකු එරට පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ අණපනත් යටතේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය විසින් සංවිධානය කරන ලද “ඉන්දු සාගර කලාපයේ භූ දේශපාලනය” සාකච්ඡා සභාවේ ආරාධිතයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වන අවස්ථාවේ විරෝධතාවක් දියත් කළ සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ඇත්තේ තේම්ස් නිම්න පොලිසිය විසිනි.

ඔවුන්ගෙන් අයකු වන පාරජාතික දෙමළ ඊළම් ආණ්ඩුවේ (TGTE) සොක්කලිංගම් යෝගලිංගම්ට පොලිස් නිලධාරියකු දැනුම් දී සිටියේ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුන් අත් අඩංගුවට ගන්නා බවයි.

“මේ අවස්ථාවේ අපි කරන්නේ ඔබ අත ත්‍රස්තවාදයට සම්බන්ධ උපකරණයක් තියේද නැද්ද කියා කරන විමර්ශනයක් පමණයි. එච්චරයි. එහෙම දෙයක් නැතිනම් ඔබට යන්න පුළුවන්. එහෙම තිබේ නම්, එහෙමත් නැතිනම් එහෙම දෙයක් ඇතැයි කියා අප හිතනවානම්, ඒක එතැන සිට ඉදිරියට ගෙනයන්න පුළුවන්.” එසේ පවසමින් පොලිස් භටයා කොඩියක් මෙන් පෙනෙන රතු පැහැ රෙදි කැබැල්ලක් පපුතුරේ රඳවාගනු වීඩියෝ ගත වී තිබේ.

පොලිස් නිලධාරියා එසේ පැවසුවේ, “මේ අපේ ජාතික කොඩියයි. බ්‍රිතාන්‍ය කොඩිය හෝ ශ්‍රී ලංකා කොඩිය අරගෙන එය ත්‍රස්තවාදී කොඩියක් කියන්න පුළුවන් දැ,” යි සොක්කලිංගම් යෝගලිංගම් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

ඔහු සමග ශාක්‍ය රාජ් ප්‍රනාන්දු, ධනුෂන් මහාදේවන් සහ සෙල්වගනේෂන් සිවසුදන් අත් අඩංගුවට ගන්නා ලද බව නීතිඥ කුලසේකරම් ගීතරත්නම් පැවසීය.

විරෝධතා කරුවන් අත තිබූ සටන් පාඨ පුවරුද පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

මහ කොමසාරිස් කාර්යාලය චෝදනාව ප්‍රතික්ෂේප කරයි :

උද්ඝෝෂකයන් අත තිබූනේ එල්ටීටීඊ ධජ බවට නොමග යවන සුළු චෝදනාවක් නගමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිලධාරීන් කළ පැමිණිල්ලක් අත් අඩංගුවට ගැනීමට හේතුව වී ඇති බව TGTE ආණ්ඩුවේ ටී ජී මනිවන්නන් ප්‍රකාශ කරයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ අගමැතිවරයා සමග ඔක්ස්ෆර්ඩ් සංගම් ශාලාවේ සිටියදී, පිටත වීදියේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොකළ බවයි.

“පැමිණිලි හෝ අත් අඩංගුවට ගැනීම් ගැන මහ කොමසාරිස් කාර්යාලයේ කිසිම සම්බන්ධයක් නෑ. ඒ කටයුතු පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමක් ලෙස අපි දකිනවා,” යි වැඩ බලන මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න කියා සිටියේය.

අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තේම්ස් නිම්නයේ පොලිසියෙන් විමසීමක් කරන ලද බව බටහිර හැරෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරත් තෝමස් පවසයි.

දෙමළ ඊළම් විමුක්ති කොටි ඇතුළු තහනම් සංවිධාන විදහා දැක්වෙන සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම බ්‍රිතාන්‍යයේ තහනම් කටයුත්තකි.

සාමකාමී විරෝධතා කරුවන් සහ සුළුතර වාර්ගික ජනකණ්ඩායම් වලට මර්දනකාරී අයුරින් බලපාන බවට බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත මර්දන අණ පනත් දැඩි දෝෂ දර්ශනයට ලක් කරන මානව හිමිකම් සංවිධාන එමගින් සිවිල් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බව පෙන්වා දී තිබේ.

(radiogagana - වීඩියෝ: දර්ශිකා ශ්‍රී සිවකුමාර්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top