Sathosa

Oct 11, 2018

දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව අද  

මෑත යුගයේ වඩාත්ම ආන්දෝලනාත්මක නඩු තීන්දුව බවට පත් වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුවට අභියෝග කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම් විභාග කළ පංච පුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ තීන්දුව අද (11දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 05 දෙනකුට මරු කැඳවමින් හා දුමින්ද සිල්වාට මරණීය තුවාල සිදුකරමින් මුල්ලේරියාව, හිඹුටානේදී 2011 ඔක්තෝබර් 08 වැනිදා පළාත් පාලන මැතිවරණ පැවැත්වෙමින් තිබියදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2015 දී වත්මන් රජය පත් වූ විගස පරීක්‍ෂණ කඩිනම් කරමින් දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.

කොළඹ මහාධිකරණයේ ජේ‍යෂ්ඨ විනිසුරුවරයකු වන ශිරාන් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පද්මිණි එස්. රණවක හා එම්.සී.බී.එස්. මොරායස් යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විශේෂ නඩු කටයුත්තක් සේ සලකා සිදුකරන ලද කඩිනම් නඩු විභාගයකින් පසු 2016 සැප්තැම්බර් මස 08 වැනි දින එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ප්‍රධාන විනිසුරුවරයාගේ තීන්දුව !

ප්‍රධාන විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් මෙකී නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබූ කිසිදු චෝදනාවක් සැකයෙන් තොරව ඔප්පු කරලීමට නීතිපතිවරයා අසමත් වූ හෙයින් සියලුම විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට තමා තීන්දු කළ බව ප්‍රකාශ කළේය.

සෙසු විනිසුරුවරුන් දෙදෙනාගෙන් පද්මිණි රණවක විනිසුරුවරිය විසින් ලියන ලද තීන්දුව මඟින් විත්තිකරුවන් 13 දෙනාගෙන් අධිකරණය මඟහැර සිටි 5 වැනි විත්තිකාර ජානක ප්‍රියන්ත ගලබොඩද ඇතුළුව දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන්ව සිටි අනුර තුෂාර ද මෙල්, ඩී.එම්. සරත් කුමාර බණ්ඩාර හා චමින්ද රවි ජයනාත් සහ 11 වැනි විත්තිකරු වූ දුමින්ද සිල්වා ද යන පස් (05) දෙනාම සියලුම චෝදනාවන්ට වැරැදිකරුවන් බවට තීන්දු කරමින් ඔවුන් සියලු දෙනාටම මරණීය දණ්ඩනය නියම කරන ලද අතර සෙසු විනිසුරුවරයා වූ එම්.සී.බී. මොරායස් මහතාගේ අනුමැතිය ද එම තීන්දුවට හිමිවිය.

ඒ අනුව බහුතර තීන්දුව ලෙස එය ප්‍රකාශයට පත්විය.

තීන්දුව පිළිබදව සෑහීමට පත් නොවන බව :

එහිදී එකී විත්තිකරුවන්ගේ නීතිඥවරුන් එම තීන්දුව පිළිබදව සෑහීමට පත් නොවන බවත් අභියාචනයන් ගොනු කරන බවත් විනිසුරු මඬුල්ලට දන්වා සිටියහ.

විනිසුරු මණ්ඩලයෙන් ලද අවසරය මත විත්තිකරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා පෙත්සම් ගොනු කරනු ලැබූ අතර විශේෂ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ ඒවා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලීන්පෙරේරා, සහ විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එකී පෙත්සම් විභාගය ආරම්භ විය.

ජූලි මස 5 වැනිදා පෙත්සම් විභාගය නිමා කළ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය වෙනත් යම් සැලකිරීමක් ඇත්නම් එය අගෝස්තු මස 10 වැනි දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට භාර දෙන ලෙස දෙපාර්ශ්වයටම දැනුම් දෙනු ලැබීය.

ඉන් අනතුරුව සියලු සැලකිරීම් හා සෙසු අදාළ කරුණු විමර්ශනයෙන් පසු සිය තීන්දුව ලබා දෙන බව විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව විශේෂ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ තීන්දුව අද (11දා) දින ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

(මව්බිම)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top