Sathosa

Oct 11, 2018

භාරකාර ආණ්ඩුවකට එජාපයේ 10කගේ සහය ! Featured

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු එක් කර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය සාකච්ඡා පවත්වා ඇති බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයකදී එම මන්ත්‍රීවරුන් දස දෙනා සමග සාකච්ඡා පවත්වා ඇති බවත් ජනාධිපතිවරයා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන්නේ නම් ඊට සහය දැක්වීමට එම මන්ත්‍රීවරුන් එකඟ වී ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඔවුන්ගේ වැඩපිළිවෙල කුමක් දැයි එළිදක්වන ලෙස එම මන්ත්‍රීවරුන් ඉල්ලා ඇතැයි ද සඳහන් වේ.

කෙසේවුවද ඒකාබද්ධය හා ශ්‍රීලනිප කණ්ඩායමක් එක්ව භාරකාර ආණ්ඩුවක් ගොඩනැගීමේ ක්‍රියාමාර්ගය මේවනවිට අඩපන වී ඇතැයි 'නිව්ස් ටියුබ්' වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ එවැනි භාරකාර ආණ්ඩුවකට සහය දෙන බවට එකඟව සිටියා යයි කියන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මේවනවිට සිය මතය වෙනස්කර ගෙන තිබීම හේතුවෙනි.

මේ ආණ්ඩු වෙනස්කිරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නම් මෛත්‍රී-මහින්ද සන්ධානයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව ඒකාබද්ධයේ ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පවසා ඇත.

 පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපයට:

Ranil 670px 10 04 18ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 107 දෙනෙකුම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පෙරමුණය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනෙකු සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරු ප්‍රමාණය 16කි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග දැනට ආණ්ඩුවේ අමාත්‍ය පදවි උසුලන සහ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් ගණන 26කි. ඒ සියළු පාර්ශව එකතුකළත් මෛත්‍රී-මහින්ද සන්ධානයක් සඳහා මන්ත්‍රීවරුන් සිටින්නේ 96ක් පමණි.

ඒ අනුව ආණ්ඩු වෙනසක් සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 ලබාගැනීම පිණිස ඔවුන්ට තවත් මන්ත්‍රීවරුන් 17ක පමණ සහාය අවශ්‍යවේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු තේරී පත්ව සිටින අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරුන් 16ක් සිටිති.

 

මහින්ද ආයෙත් ඇන ගනී ද ?

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ පැවති විශ්වාස භංග යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාට සහාය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.MahindaRajapaksa 600px 16 12 26

මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම පිණිස එම පක්ෂ දෙකම සහාය පළකිරීම අවිනිශ්චිතය.

එසේම, ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් දේශපාලන පක්ෂවල සහය මේවනවිට හිමිව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතය.

මෙවැනි තත්වයක් යටතේ භාරකාර ආණ්ඩු යෝජනාව යථාර්තයක් කරගැනීම සඳහා එජාප මන්ත්‍රී පිරිසකගේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය ම වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top