Sathosa

Oct 11, 2018

ශ්‍රී ගජන් අත්අඩංගුවට ගැනීමට නියෝග

යාපනය, කයිට්ස්, පුන්කුඩිතිව්, 09 වන පටු මඟ ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පළායාමට උපකාර කළ බව පවසන එවකට යාපනය පොලිසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රී ගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.ජුඩ්සන් මහතා ඊයේ (10) නියෝග කරනු ලැබීය.

විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලැබ තිබෙන උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධ නඩු විභාගය විභාගයට ගත් අවස්ථාවේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත එලෙස නියෝග කෙරිණ.

විද්‍යා ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වු ස්විස්කුමාර් නමැත්තා ඇතුළු පිරිස වෙත පළා යාමට උපකාර කළ බව කියන සිද්ධියේදී ශ්‍රී ගජන් නමැති උප පොලිස් පරීක්ෂකවරයා අදාළ පිරිස් වෙත උපකාර කොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.

ශ්‍රී ගජන් නිලධාරියා අදාළ සිදුවීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර, සැකකාර ‍උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය අධිකරණයට පැවසීය.

නඩු විභාගය එළැඹෙන ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර,නඩු විභාගයට අදාළ නීතිපති උපදෙස් විමසීමට නියමිත බවද මහේස්ත්‍රාත්වරයා දැන්වීම් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවයි.

සටහන - මාධව කුලසූරිය - වවුනියාව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top