Pasidol

Sathosa

Oct 11, 2018

බාරකාර ආණ්ඩුව : එකඟද ? නැද්ද ? ඒකාබද්ධයෙන් විමසයි Featured

 ශ්‍රීලනිපය සමගින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් අදහස් විමසීම සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරුන් අද (11) දිනයේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඔහුගේ නිල නිවසට කැදවා ඇත.

මෙම සාකච්ඡාව සදහා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනා මෙන්ම සුලූ දේශපාලන පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබේ.

භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ ඒකාබද්ධයේ සියලු දෙනාගේ එකඟත්වයෙන් බව හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය කැඳවයි :

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව 16 වැනිදා කැදවා ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ඉතා ඉක්මනින් කැදවීමට නියමිතය.

ශ්‍රීලනිපය - ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දැන ගන්නට තිබේ.

දෙපාර්ශවය අතර සාකච්ජා :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා පවත්වමින් සිටින අතර ශ්‍රීලනිපයේ 15 කණ්ඩායමේ සාමාජිකයින් එහි පෙරමුණ ගෙන සිටියි.

වත්මන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වී රටේ මහජනතාව බරපතළ පීඩනයකට ලක් වී ඇති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර ජාතික මැතිවරණයක් පැමිණෙන තෙක් රට පාලනය කළ යුතු බව මෙම භාරකාර ආණ්ඩු සාකච්ඡාවේ අරමුණ වී ඇති බව 'බීබීසී සිංහල සේවය' වාර්තාකර තිබිණ.

 මෛත්‍රී-මහින්ද හමුවක් ?

 භාරකාර ආණ්ඩු සංකල්පය ගැන සාකච්ඡා කිරිම සඳහා පසුගිය සතියේ හිටපු අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ නිවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් පැවති බවට විවිධ වාර්තා පළ විය.

එවැනි සාකච්ඡාවක් පැවතුණු බව හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිස් තහවුරු කර ඇති නමුත් ඒ ගැන කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළිකිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

'සන්ඩේ ටයිම්ස්' පුවත්පත මෙම සාකච්ඡාව ගැන දීර්ඝ විස්තරයක් පළ කර තිබූ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව එහි සඳහන් කර තිබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කර මෛත්‍රී-මහින්ද පාර්ශව එකතු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් විය.

විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුව පවත්වාගෙන යෑම අපහසු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top