Sathosa

file photo file photo
Oct 12, 2018

රණවකගේ "ජයසිටිය" නිසා අසරණ වූ වෙළෙන්දෝ

පිටකෝට්‌ටේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක්‌ ඉදිකිරීම සඳහා ඉවත් කළ වෙළෙඳසල් 17 ක වෙළෙඳසල් හිමියන් මේ වන විට පිටකෝට්‌ටේ ලංගමයට අයත් ඉඩමක හිඳිමින් සිය ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන අතර, ඔවුන් මේ වන විට ව්‍යාපාර කටයුතු අසාර්ථක වීමෙන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.

මීට පෙර තමන් ව්‍යාපාර කටයුතු සිදුකරගෙන ගිය පිටකෝට්‌ටේ වෙළෙඳ සංකීර්ණයේ කිසිදු අඩුපාඩුවක්‌ නොතිබූ බවත්, නිකරුණේ එම වෙළෙඳ සංකීර්ණය කෝට්‌ටේ පසුගිය කාලයේ සිටි නගර සභා බලධාරීන් විසින් කඩා ඉවත් කළ බවත් ඔවුන් කියා සිටියහ.

වසර තුනක පමණ සිට ඔවුනට මෙම ඉඩම අහිමිව පවතින මෙහි වෙළෙඳාම් කළ වෙළෙඳුන් වසර 30 - 40 ක සිට මෙම ස්ථානයේ වෙළෙඳාම් කර ඇති බව ඔවුන් පවසයි. කෝට්‌ටේ හිටපු නගරාධිපති, කෝට්‌ටේ නාගරික මන්ත්‍රී ජනක රණවක මහතාගේ අනුදැනුම මත එම ස්ථානයේ "ජයරජ සිටි" නමින් සුපිරි වෙළෙඳසැලක් සඳන බව පවසා ඔවුන් එතැනින් ඉවත් කර ලංගමයට අයත් ඉඩමක පදිංචි කරවා ඇත. කෙසේ වෙතත් මේ වන විට අදාළ සුපිරි වෙළෙඳ සංකීරණයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නැවතී වසර 1 1/2 ක් ගතව ඇති අතර මෙකී වෙළෙඳුන් නිසි වෙළෙඳාමක්ද කර ගැනීමට නොහැකිව අසරණව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ව්‍යාපාරික එම්. රිෆාස්‌ මහතා -

අවුරුදු 3 ක්‌ තිස්‌සේ අපි මෙතන දුක්‌ විඳිනවා. අර කෝට්‌ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු බලධාරීන් අවුරුද්දක්‌ ඇතුළත කඩ දෙනවා කියලා අර මාර්කට්‌ එකේ අපේ කඩ කැඩුවා. දැන් අපිට ඇති සෙතක්‌ නැහැ. කරවල වගේ මෙතන වේළෙනවා. දැන් මෙතන බිස්‌නස්‌ කරන අපේ වාහනයක්‌ ගහන්න තැනක්‌ නැහැ. මෙතනට බඩුවක්‌ ගන්න එන පාරිභෝගිකයන්ගේ වාහන නවත්වන්න තැනක්‌ නැහැ. මාර පීඩනයක්‌ තියෙන්නේ. දැන් ඉන්න කෝට්‌ටේ නගර සභා පාලකයන්ට කියන්නේ හැකි ඉක්‌මනින් මේ මාර්කට්‌ එක හදලා ඉවරයක්‌ කරලා අපිට පවරන්න කියලයි.

මොන්ටි පෙරේරා මහතා -

අපි හරි අපහසුතාවකින් මෙතන බිස්‌නස්‌ කරන්නේ. මේකේ හරි රස්‌නෙයි. ඉන්න බැහැ. මම හාර්ට්‌ පේෂන් කෙනෙක්‌. අර මාර්කට්‌ එකේ වගේ නෙමෙයි. මෙතන කිසිම පහසුකමක්‌ නැහැ. දැන් අපි හිටපු මාර්කට්‌ එක කඩලා ඒකේ වැඩ පටන් අරන් බාගෙට දාලා ගිහින්. අපි දැන් තාවකාලිකව මේ සී. ටී. බී, ඉඩමේ ඉන්නේ. තව ටික දවසකින් අපිට මෙතැනින් යන්න වෙයි. ඊට පස්‌සේ අපිට මහ පාරේ හිඟා කන්න තමයි වෙන්නේ. අනික මේ කඩ දහහතේ වෙළෙ¹ම් කරන අපිට තියෙන්නේ එක වැසිකිළියයි. ඒ විතරක්‌ නොවෙයි මේ පිටකෝට්‌ටේට එන ජනතාවත් හදිසි අවශ්‍යතාවක්‌ වුණොත් යන්නෙත් මේ වැසිකිළියට."

රමණි ප්‍රියංගිකා මහත්මිය -

මම රෙදි ව්‍යාපාරයක්‌ කරන්නේ. මෙතන කිසිම ආරක්‍ෂාවක්‌ නැහැ. වැස්‌ස දවසට කඩ ඇතුළ සේරම තෙමෙනවා. අපි මෙතන හිටියට වතුර බිල්, ලයිට්‌ බිල් සේරම ගෙවනවා. අපි කියන්නේ ඉක්‌මනට මාර්කට්‌ එක හදලා අපේ කඩ ටික ලබා දෙන්න කියලයි. මේක සී. ටී. බී. ඉඩමක්‌. හදිසියේවත් සී. ටී. බී. එකෙන් මේ ඉඩම ඉල්ලුවොත් අපි සදා අනාථයි. අනිත් එක මේ මාර්කට්‌ එක ඉස්‌සරහම බස්‌ නවත්වන එකත් අපිට වදයක්‌. ටිකක්‌ ඉස්‌සරහට වෙන්න බස්‌ නතර කරනවා නම් හොඳයි. මොකද නැත්නම් මේ ස්‌ථානයෙන් බඩු ගන්න එන පාරිභෝගිකයාට ඒක හිරිහැරයක්‌ වෙන්න පුළුවන්.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ මහ නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක, අග්‍රාමාත්‍යවරයාගේ කෝට්‌ටේ සම්බන්ධීකරණ ලේකම් සුගත් අප්පුහාමි මහතා,

2015 මාර්තු මාසයේ තමයි හිටපු නගරාධිපති ජනක රණවක මහත්මයා මේ මාර්කට්‌ එක සඳහා නගර සභාවේ අනුමැතිය ගත්තේ. අර අච්චර හොඳට තිබුණු මාර්කට්‌ එකයි මේ අය කඩලා දැම්මේ. එදා ඒ සුපර් මාර්කට්‌ එකේ කඩ 17 ක්‌ තිබුණා. ඒ කඩ හිමියන්ව මේ අය පාරට ඇදලා දැම්මා. මම ඇවිත් ඒ අයව එළියට දාන එක නතර කළා. මම කිව්වා මේ අයට නියමිත තැනක්‌ ලබාදීලා එළියට දාන්න කියලා.

ඊට පස්‌සේ හිටපු නගරාධිපතිවරයා මේ කඩ හිමියන්ව පිටකෝට්‌ටේ සී. ටී. බී. ඉඩමේ පදිංචි කෙරෙව්වා අවුරුද්දක්‌ තුළ මාර්කට්‌ එක හදලා දෙනවා කියලා. නමුත් දැන් අවුරුදු 3 ක්‌ ගතවෙලත් නගර සභාවේ ව්‍යාපෘතිය තාම හදලා ඉවර කරන්න බැරිවෙලා තියෙනවා.

දැන් මේ නව සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වැඩකටයුතු සඳහා ගෙනාපු කම්බි සියල්ලම මළකඩ බැඳිලා. මේවා මහජන දේපළ. ඇයි මේවා විනාශ වෙන්න දෙන්නේ. බලධාරීන්ට කියන්නේ පුළුවන් තරම් ඉක්‌මනට මේ සුපර් මාර්කට්‌ එක හදලා දීලා ඒ කඩහිමියන් නැවත පදිංචි කරවන්න කියලයි.

කෙසේ වෙතත් චෝදනා ලැබ සිටින කෝට්‌ටේ හිටපු නගරාධිපති, කෝට්‌ටේ නාගරික මන්ත්‍රී ජනක රණවක මහතා මේ සම්බන්ධව කියා සිටියේ මේ වන විට ලංගමයට අයිති ඉඩමේ සිටින බහුතරයක්‌ම කලින් මාර්කට්‌ එකේ ස්‌ථිරවම හිටපු අය නොවන බවත් ඔවුන්ගෙන් බහුතරයක් කුලියට සිටියවුන් බවත්ය. සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වැඩ ඉවර කිරීමට අදහස තිබූ නමුත් ආණ්‌ඩුව වෙනස් වූ බැවින් එහි වැඩකටයුතු නතර වූ බවත් එබැවින් තමාට මේ පිළිබඳව වගකීමක් නොමැති බවත් හෙතෙම පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top