ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම අධ්‍යයන වාර්තාව එළිදක්වන එක්සත් ජනපදය මුලස්ථාන කොටගත් හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය චෝදනා කරන පරිදි සැබෑ උරුමක්කාරයන්ට ඉඩම් ආපසු පැවරීම පිළිබඳ පොරොන්දුව රජය විසින් කඩකොට ඇත.
“හමුදාව වාඩිලා හිඳීම ජාතික ආරක්ෂාවේ අවශ්‍යතාවක් ලෙස ආණ්ඩුව විසින් නිරන්තරයෙන් යුක්ති සහගත කෙරුණත් බොහෝ අවස්ථාවලදී ඒ තර්කණය සැක උපදවයි,” යනුවෙන් HRW පිටු 80 කින් යුත් සිය වාර්තාවෙන් පවසයි.
එහි සවිස්තරව දක්වා ඇති තොරතුරු වලින් කියැවෙන පරිදි හමුදාව සැබෑවටම ඉඩම් අල්ලා ගෙන ඉන්නේ වාණිජ අරමුණු ඉටු කර ගැනීමටයි.
“යුද හමුදාව උතුරේත්, නැගෙනහිරත්, ගොවිපල පවත්වාගෙන යයි. පාරවල් අද්දර ආපන ශාලාය. අයිතිය සම්බන්ධයෙන් මතබේද ඇති ඉඩම් වල පවා සංචාරක හෝටල් පවත්වාගෙන යනු ලැබේ. බලපෑමට ලක්වූ ප්රජාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ජාතික ආරක්ෂාවට මුවාවී මේ පුරුදු දිගටම පවත්වාගෙන යාම නිසා හමුදාව ලාබ ඉපැයීමේ නිරතව සිටීම ගැන අවධානය යොමු කරන්නට සිදුවේ.”
“අපිට ගෙදර යන්න බැරි ඇයි? ශ්‍රී ලංකාවේ හමුදා වාඩිලා ගැනීම්” නම් වාර්තාව සකස් කොට ඇත්තේ 2017 ජූනියේ සිට 2018 අගෝස්තු දක්වා අවුරුද්දකට වැඩි කලක් සියයකට වැඩි පිරිසක් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව පවසන HRW සංවිධානය ඉඩම් අහිමි කරනු ලැබීම නිසා වැඩිම පීඩාවට පත්ව සිටින්නේ දෙමළ ජනතාව බව පෙන්වා දෙයි.
“කලකිරවන සුලු අයුරින් මන්දගාමීයි”
“යුද හමුදාව විසින් උතුරේත්, නැගෙනහිරත් ඉඩම් අල්ලාගෙන සිටීම නිසා දෙමළ, මුස්ලිම් හා සිංහල යන රටේ ප්‍රධාන වාර්ගික ප්‍රජාවන් තුනම පීඩාවට පත්ව ඇතත්, මහත් බරපතලම බලපෑමට ලක්ව සිටින්නේ දෙමළ ජනතාවයි.”
විවිධ අවස්ථා වලදී යුද හමුදාව විසින් ඉඩම් ආපසු පවරා දෙනු ලැබුවත් එය “කලකිරවන සුලු අයුරින් මන්දගාමී” බව HRW නිරීක්ෂණයයි.
“ශ්‍රී ලංකාවේ කුරිරු යුද්ධයෙන් උන්හිටිතැන් අහිමිවූ සැම දෙනාටම ආපසු සිය නිවෙස් කරා යාමේ අයිතියක් තිබේ,” යි හියුමන් රයිට්ස් වොච් දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි පවසයි.
“බලධාරීන් විසින් දිගින් දිගටම පොරොන්දු දුන්නත්, ඉඩම් ආපසු පැවරීමේදී යුද හමුදාව පෙන්නුම් කරන්නේ කලකිරවන සුළු මන්දගාමී බවකි.”
HRW විසින් හමුදාව වාඩිලා සිටීම දකිනු ලබන්නේ සිංහල නොවන ජන කොටස් තවදුරටත් මර්දනය කිරීමේ සංහිඳියා විරෝධී පියවරක් ලෙසයි.
“හමුදාව ඉඩම් අල්ලාගෙන සිටීම පශ්චාත්-යුද සාමාන්‍යකරණයට සහ සංහිඳියාවට මහත් බාධකයකි. සිංහල අධිපති රාජ්‍යය සැරසෙන්නේ හමුදාකරණය දිගටම පවත්වාගෙන යාමෙන් සහ බිම් වපසරිය පුළුල් කිරීමෙන් සුළුතර අයිතිවාසිකම් යටපත් කිරීමටයි.”
ආණ්ඩුවේ පොරොන්දු
වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කීපයකට පෙරාතුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් දී තිබුනේ උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් මේ වසර අවසන් වීමට මත්තෙන් “සියලු ගැටලු නිරාකරණය කර ගනිමින්” නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.
“විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසත්, එහි ප්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසත්,” ජනාධිපතිවරයා නිර්දේශ කළ බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබුනි.
ජනාධිපතිවරයා තම උපදේශය දී ඇත්තේ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා මෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද සහභාගි වූ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකායේ තුන්වැනි රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අවස්ථාවේය.
සැබෑ ඉඩම් හිමියන් සෑහීමකට පත් වන ආකාරයෙන් ආණ්ඩුව පොරොන්දු ඉටු කිරීම ගැන සැක පල කරන HRW සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ භූමියේ අයිතිය සම්බන්ධ ප්‍රධාන තීරක බලය ආරක්ෂක හමුදා වෙතින් ඉවත් කොට, ඒ සඳහා පොදු සහභාගිත්වයෙන් යුත් පාරදෘශ්‍ය ක්‍රියා මාර්ගයක් ස්ථාපිත කරන ලෙසයි.
සොයාගත් කරුනු සම්පිණ්ඩනයක් මේ වසරේ අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ රජය අත පත් කළත් වාර්තාව එළිදක්වන දිනය දක්වාත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් පවසයි.
(radiogagana)