Oct 15, 2018

CID ය ජනාධිපති ගෙන් ප්‍රශ්න කිරීමට යයි ! Featured

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ සතිය තුලදී ජනාධිපති මෛත්‍රීපාල මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමට නියමිත බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය. ඒ, ජනාධිපති කාර්යාලයෙන් යොමුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සැලසුම් කරන බවට දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර නමැත්තා පසුගිය සැප්තැම්බර් 12 වෙනි දින කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජනාධිපති කාර්යාලය මිට සති කිහිපයකට ඉහතදී පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ.

ඒ අනුව මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, මේ පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමටද නියමිත බවත් ඉහත පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සතියේ තීරණාත්මක පියවරක් !

PujithJayasundara 670px 22 09 18පොලිස්පතිවරයාගේ නමද නාමල්ගේ මාධ්‍ය හමුවේදී හෙළිදරව්විය.

මෙම ඝාතන කුමන්ත්‍රණ කතාවට අදාළව සිදුවන විමර්ශනවලට අනුව මෙම සතිය ඇතුළත තීරණාත්මක පියවරක් ගැනීමට ඉඩ තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත සැහැල්ලු ස්වයංක්‍රිය ගිනි අවි (LMG) දෙකක් ලබාදීමට හේතුවූ කාරණා ඇතුළුව මෙම විමර්ශනයට අදාළව කරුණු රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ පොලිස්පතිවරයාගේ පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබා ගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ බව කියන මෙම කුමන්ත්‍රණය මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පසුව මේ පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවටද පැමිණිලි කළේය.

පොලිස්පතිවරයාගේ නමද අදාළ මාධ්‍ය හමුවේදී හෙළිදරව් වීම මත ඔහුගෙන්ද මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් තීරණය කර තිබේ.

පොලිස්පතිවරයාගෙන් මීට අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

 ජනපති-අගමැති විශේෂ සාකච්ඡාවකMaithree Ranil 600px 16 11 19

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (12දා) සන්ධ්‍යාවේ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූ බවත් එහිදී ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණයට අදාල විමර්ශන කටයුතු වල පමාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පැවැති මෙම සාකච්ඡාවට විනාඩි 40ක පමණ කාලයක් ගත වී ඇතැයිද සඳහන්ය.

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සීෂෙල්ස් හා නෝර්වේ - මහා බ්‍රිතාන්‍ය සංචාරයන්ගෙන් අනතුරුව ඔවුන් දෙපළ පෞද්ගලිකව හමු වී කළ එම සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් මාධ්‍යට අනාවරණය වී නොමැත.

 සබැඳි පුවත් :

ඝාතන කුමන්ත්‍රණය : ආණ්ඩුවේ 'නිහැඬියාව' ගැන ජනපති කනස්සල්ලෙන් !

ඇමති රිෂාඩ් ආණ්ඩුවේ 'වැඩ' ගැන කනස්සල්ලෙන් !

නාමල් කුමාර ගැන, ජනාධිපති කාර්යාලයෙන් පැමිණිල්ලක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top