Sathosa

Oct 16, 2018

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය හිටපු ව්‍යවසායකයන්ටමද? Featured

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන මගින් මෙරට නව ව්‍යවසායකයන් ලක්ෂයකට පමණ ණය ලබාදීමට කටයුතු කෙරුණද එමගින් සිදුව ඇත්තේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ව්‍යවසායකයන් සඳහාම බහුතරයක් ණය ලබාදීම බවට කරුණු වාර්තාවේ.

මේ වන විට මෙම වැඩසටහන මගින් 26,000 කට පමණ ණය ලබා දී ඇත.

මේ පිළිබඳව "ශ්‍රී ලංකා මිරර්" ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුව ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් කරමින් ඇති කරන නව වැඩ පිළිවෙලේදී සෘජුවම එකී අපේක්ෂා සාක්ෂාත් කරගත නොහැකි බවයි. කෙසේ වෙතත් ණය දුන් 26,000 ක පමණ ප්‍රමාණයෙන් බහුතරය නව ව්‍යවසායකයන් නොවේද යන්න සම්බන්ධ ප්‍රශ්නයේදී ඔහු මෙසේ පැවසීය.

"අපි නිවාස ණය හැර අනෙක් ණය ලබාදීමේදී 'එක් ව්‍යවසායකයෙකුට එක් රැකියාවක් හෝ උත්පාදනය කිරීමට හැකිවීම', වැනි කරුණු ඇතුළත්ව කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් බහුතරයකට ඒවා සම්පූර්ණ කරන්න බැරිවුණා. ඒ අතරේ දැනට සිටින ව්‍යවසායකයන් කර්මාන්ත හෝ ව්‍යාපාර නව මාවත් ඔස්සේ පුළුල් කිරීම, නැතිනම් නව නිෂ්පාදයකට අත ගැසීම වැනි දේ සඳහා යොමුවී සිටියා. අපි ඒ අය සඳහා අවශ්‍ය ණය මුදල් ලබා දුන්නා. මෙහිදී ඒ පුද්ලයන්ට බැංකු ගණුදෙනුවලදී තිබෙන විශ්වසනීයත්වය වැනි කරුණුද පහසුවෙන් ණය මුදල් ලබා ගැනීම සඳහා හේතුවුණා".

කෙසේ වෙතත් රාජ්‍ය බැංකු හතර මෙහිදී තම කළමනාකරුවන්ගේ හිතවතුන්ට ණය මුදල් ලබා දී ඇති බවටද චෝදනා නැඟෙයි. කෙසේ වෙතත් රජය විශේෂයෙන්ම පෞද්ගලික ව්‍යවසායකත්වය මත පදනම් කරගත් ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේදී නව ව්‍යවසායකයන්ට බියෙන් තොරව අදාළ ව්‍යාපාරයට අත ගැසීමට අවැසි ආර්ථික ශක්තිය මෙන්ම මානසික නිරවුල් බවද ලබාදීම රජයේ වගකීම වේ. කෙසේ වෙතත් මේ පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යංශයේ උසස් නිලධාරියා කියා සිටියේ, මෙරට සංස්කෘතිය තුළ නව ව්‍යාපාරයකට අත ගැසීමට පුද්ලගයන් තුළ බියක් පවතින බවයි. නමුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අනතුරකට මුහුණ දීමේ හැකියාවක් තිබිය යුතු බවත් රජය පාර්ශවයෙන් එම අනතුර අවම කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වාදෙයි.

පෞද්ලගික ව්‍යවසායකයන් බය වුණේ ඇයි?

කෙසේ වෙතත් මේ වන විට රුපියල බිඳ වැටීම , ව්‍යාපාරිකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද ඉසිලිය නොහැකි බදු බරකට යටත්වීමට සිදුවීම, රජයේ යෝජනා මාලා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන පරස්පරතාවයන් ( උදා -එනර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ සහ ක්‍රියාත්මක වීම) වැනි කරුණු හේතුවෙන් අලුත් ව්‍යාපාරයකට අතගැසීමට නව ව්‍යවසායන් බිය වීම සාමාන්‍ය කරුණක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.

කෙසේ වෙතත් ප්‍රථම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහනෙන් ලද සාර්ථකත්වය මත ණය මුදල් ලබාදීම සඳහා තවදුරටත් අමාත්‍යංශය ක්‍රියා කළ බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියා "ශ්‍රී ලංකා මිරර්" සමඟ කියා සිටියේය. ඒ අනුව උපාධිධාරීන්ට ලබා දුන් පොළී රහිත ලක්ෂ 15ක ණය මුදල NVQ 5,6,7 අදියර සම්පූර්ණ කළ අය සඳහාද ලබාදීමටත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා එහි පාලිකාව NVQ 4 අදියර සම්පූර්ණ කර සිටී නම් පක්ෂ 35 ක ණය මුදලක් ලබාදීමත් ඔවුන් කටයුතු කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top