ජනපති මහජන බැංකු, ලංකා බැංකු, BOI අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හරි ... ජනපති මහජන බැංකු, ලංකා බැංකු, BOI අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හරි ...
Oct 18, 2018

ආණ්ඩුවේ අර්බුදය පුපුරා යයි : ජනපතිගේ තීරණයට එජාපය එරෙහිවේ ! Featured

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ ගනු ලැබූ තීරණය එක්සත් ජාතික පක්ෂයේ බලවත් විරෝධයට හේතුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා හෝ විෂයබාර අමාත්‍යවරුන් දැනුවත් නොකර ජනාධිපතිවරයා මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඊයේ රාත්‍රී අගමැතිවරයාට දුරකථන ඇමතුම් ලබාදෙමින්, ඔහුගේ ඉන්දීය සංචාරයට පෙර අදම ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවද ඉහත ආරංචිමාර්ග කියා සිටියි.

මේ අතර අදාළ ආයතන අයත් අමාත්‍යංශවල විෂයභාර අමාත්‍යවරුන් වන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

එසේ, ජනාධිපතිවරයා හමුවී අවසන් තීරණයක් ගන්නා තෙක් එම ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් නම් කල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්නොවන ලෙස දැනුම් දීමක් කර ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

දුමින්ද රත්නායක අස්වෙලා !

කෙසේවුවද ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද රත්නායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ පස්වරුව වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කළ බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී තහවුරු කළේය.

ජනාධිපතිවරයා විසින් මේ නියෝගය ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලය හා රේඛීය අමාත්‍යවරයා අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වී ඇති පසුබිමක් තුළදීය.

මේ අතර, අඟහරුවාදා (16දා) දිනයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආයෝජන මණ්ඩලයේ සිදුකළ හදිසි පරීක්ෂණයකින් පසු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතාගේ වැඩ තහනම් කර ඇති බව ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් තහවුරු කළේය.

හොරු අයින් කළා !

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය අමාත්‍යවරුන්ට දැනුම් දී නැතැයි එජාපය පාර්ශ්වයෙන් නැගෙන චෝදනාව සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු පැවසුයේ, එය පදනම් විරහිත කතාවක් බවයි

ජනාධිපතිවරයා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැඳවා මේ පිළිබඳව දැනුවත් කල බවත්, ''අපි එකතුවී අලුත් එකක් පත්කරමු'' යයි ජනාධිපතිවරයා, ඇමතිවරයාට යෝජනා කල බවත් එම නිලධාරියා පැවසිය.

එම ආයතනවල දුෂණවලට ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ බවට දිගින් දිගටම වාර්තාවීම නිසා ඔවුන් ඉවත්කර, නව සාමාජිකයින් පත් කරන ලෙස ජනාධිපතිවරයා, අගමැතිවරයාට උපදෙස් ලබාදී තිබුන ද ඒ සඳහා මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරුන් කීප දෙදෙනෙක් ළඟදීම දොට්ට !

මේ අතර දුෂණ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරුන් කිහිප දෙදෙනෙකු වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අතර ශ්‍රීලනිප අමාත්‍යවරයකු ද සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top