Oct 19, 2018

RAW කුමන්ත්‍රණ චෝදනාව: ඉන්දියාව වැඩි විස්‌තර ඉල්ලයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ ඉන්දීය රහස්‌ ඔත්තු සේවා හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අවස්‌ථාව දෙන ලෙස ඉන්දීය ආරක්‌ෂක ප්‍රධානීන් ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.

ඉන්දීය රජයේ ආරක්‌ෂක ප්‍රධානීන් මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය හරහා අගමැති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පෙරේදා (17 දා) රාත්‍රියේ නිල වශයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 20 වෙනි දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත අතර මෙම ආන්දෝලනයත් සමග ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය ගැන දැඩි අවධානයක් යොමුවී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙම කතාවක් කියලා නැහැ !

කෙසේවුවද, ජනාධිපති මාධ්‍ය අංශය පෙරේදා (17) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ජනාධිපතිවරයා අඟහරුවාදා (16) පැවැති කැබිනට් සාකච්ඡාවකදී සිදුකර නොමැති බවයි.

දෙරට අතර පවත්නා යහපත් සබඳතාවන්ට මෙන්ම දෙරටේ රාජ්‍ය නායකයන් අතර පවතින පෞද්ගලික හිතවත්කමට අනර්ථයක් සිදු කිරීමේ අභිලාෂයෙන් මෙවැනි විකෘති ප්‍රචාර සිදු කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව එම නිවේදනයේ සඳහන් වේ.

Mahindasamarasingha 670px 07 07 17තම නම් හෙළි කරන්න ශක්තියක් නෑ - මහින්ද සමරසිංහතමා ඝාතනය කිරීම සඳහා 'රෝ' ඔත්තුකරුවකු යොදවා ඇති බවට ජනාධිපතිවරයා කැබිනට් හමුවේදී සිදුකළා යැයි පවසමින් 'ද හින්දු' පුවත්පතට තොරතුරු ලබාදුන් තැනැත්තන්ට තමන්ගේ නම හෙළි කිරීමට තරම් ආත්ම ශක්තියක් නැත්තේ ඇයි දැයි අමාත්‍ය මහින්ද සමරසිංහ ඊයේ (18දා) ශ්‍රී ලනිප පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

මෙම තොරතුරු ලබාගත් හෝ ලබාදුන් ඇමැතිවරුන්ගේ නම් සඳහන් නොකරන්නේ ඇයි දැයිද ඇමැතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් මෙම ව්‍යාජ තොරතුරු ලබාදුන් ඇමැතිවරුන් ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවද මහින්ද සමරසිංහ ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

'මේ කරුණු සියල්ලම අසත්‍යයි. මෙය හිතා මතා රටවල් දෙකක් අතර අර්බුදයක් නිර්මාණය කරන්නට දැරූ උත්සාහයක්. සිදු නොවූ දෙයක් නිර්මාණය කර කියනකොට තමන්ගේ නම හෙළි කරන්නට තරම් මේ අයට ආත්ම ශක්තියක් නැද්ද?

අපි මාධ්‍යවේදීන්ට මොකුත් කියන්නෙ නැහැ. මොකද මාධ්‍ය ආචාර ධර්ම අනුව තොරතුරු ලබාගත් මූලාශ්‍ර පිළිබඳව අනාවරණය කරන්නෙ නැහැ. ඒ වගේම තොරතුරු ලබාගත් ආකාරය අපි විමසන්නේ නෑ. නමුත් තොරතුරු ලබාදුන් තැනැත්තන්ට තමන්ගේ නම හෙළි කිරීමට තරම් ආත්ම ශක්තියක් නැත්තේ ඇයි?

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top