Oct 19, 2018

'BOI අධ්‍යක්ෂ මණ්ඩලයේ හොරු නැහැ' - ඇමති මලික් කියයි Featured

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති ජනමාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින්, ඊයේ සහ අද ඇතැම් මාධ්‍ය පළ කළ ප්‍රවෘත්ති වාර්තා වගකීමකින් තොර බව සංවර්ධන උපාය මාර්ග හා වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

ඇමතිවරයා විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

''එම ප්‍රවෘත්තිවල පළ වූ මෙම පදනම් විරහිත චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය අතීශය ගෞරවාන්විත වෘත්තිකයින්ගෙන් සැදුම් ලත්, පූර්ණ වගකීමකින් හා අවංකභාවයෙන් කටයුතු කළ බව ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරමි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය අන්තර්ගත වූයේ ආයෝජන මණ්ඩලයට වෘත්තීයවේදීත්වය නැවත ගෙන ඒමට උත්සාහ කළ, රටේ ආයෝජන පහසුකම් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වලට මග පෙන්වන ලද ගෞරවනීය පුද්ගලයන්ගෙනි.

මට ලැබී ඇති සියලුම වාර්තාවලින්, ආයතනයේ කාර්ය මණ්ඩලය මෙන්ම අව්‍යාජ ආයෝජකයින් ඔවුන්ගේ වෘත්තිමය ක්‍රියාවන් අගය කර ඇත.

රජයේ ආයෝජන ප්‍රතිපත්ති සහ ආයෝජන මණ්ඩලයේ ප්‍රයත්නයන් නිසා, 2018 දී අනුමත කරන ලද ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවයි.

2017 දී අනුමත වූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 කි.

එවැනි ප්‍රගතියක් අත්පත් කරගත් කාලයකදී මෙවැනි අසත්‍ය මාධ්‍ය ප්‍රකාශ මගින් ආයෝජකයන් නොමඟ යවනු ඇත.

BOI

කිරිඇල්ල සහ මලික් ජනපති හමුවෙලා !

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව සහ ලංකා බැංකුව යන ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා පෙරේදා (17) කල දැනුම් දීම අනුව, ජනාධිපතිවරයාගත් මෙම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා මලික් සමරවික්‍රම සහ ලක්‍ෂ්මන් කිරිඇල්අල යන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාද හමුවී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ආයෝජන මණ්ලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සම්බන්ධයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (18) මාධ්‍ය වෙත ඉහත නිවේදනය නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුව බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

DumindaRathnayakaඅධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලවී ඇති පසුබිමක් තුළ .... කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම්දීමෙන් පසු ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද රත්නායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පෙරේදා පස්වරුව වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කළ බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී තහවුරු කළේය.

ජනාධිපතිවරයා විසින් මේ නියෝගය ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලය හා රේඛීය අමාත්‍යවරයා අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වී ඇති පසුබිමක් තුළදීය.

මේ අතර, අඟහරුවාදා (16දා) දිනයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආයෝජන මණ්ඩලයේ සිදුකළ හදිසි පරීක්ෂණයකින් පසු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතාගේ වැඩ තහනම් කර ඇති බව ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් තහවුරු කළේය.

 සබැඳි පුවත් :

ආණ්ඩුවේ අර්බුදය පුපුරා යයි : ජනපතිගේ තීරණයට එජාපය එරෙහිවේ !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top