Sathosa

Oct 19, 2018

"මගේ ජීවිතේ තිබුණෙ අනතුරේ" - ජොනී

තමා නිදහස් වූයේ අධිකරණයේ ස්වාධීනත්වය නිසා බවත් දෙවතාවකදී දින 44 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී තමා දැඩි පීඩනයකට ලක්වූ බවත් තමාගේ ජීවිතයද අනතුරේ පැවති බවත් හිටපු ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිරකරුවන් 752ක් සිටින පර්චස් 80ක පිහිටි කුඩා ගොඩනැඟිල්ලක තමා සිටි බව පවසන මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ නිලධාරීන් මාරු කිරීම මගින් තමන්ට කුමන හෝ හානියක් කිරීමට සිටියාද යන්න සම්බන්ධව සැකයක් පවතින බවද කෑගල්ල බන්ධනාගාර පරිශ්‍රෙය්දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් හෙතෙම පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

"මෙහි මා සිටින විට බන්ධනාගාර රැඳවූවන්ගේ ඇඳුම් ගලවලා ඔවුන් පරීක්ෂණයකට භාජනය කළා. මානුෂිකත්වයක් තිබුණේ නෑ. මහා පීඩනයක් තිබුණේ. මෙය කළේ පිටතින් පැමිණි නිලධාරීන්.
මෙහි අධිකාරිවරයා මාත් එක්ක එක පාසලේ ඉගෙන ගත්තේ. හොඳ නිලධාරියෙක්. මා එන්න දවස් දෙක තුනකට කලින් මාරු කර යැව්වා. ඇත්ත වශයෙන්ම ඒක වැරැදියි. ඔවුන් කරන්න ඕනෑ අපේ ආරක්ෂාව බලන්න ඕනෑ. මන්ත්‍රිවරයෙක් ඉන්නකොට මම කියන්නේ නැහැ විශේෂ වරප්‍රසාද දෙන්න කියලා. අපි අපේ ආරක්ෂාව ගැන බලන්න ඕනෑ. මට දැඩි අවිශ්වාසයක් තිබෙනවා මේ නිලධාරීන් මාරු කරලා මොනවා හරි හානියක් කරන්න ඔවුන් බැලුවේ".

"නඩුවේ සාක්ෂි ඔක්කොම බිඳ වැටෙද්දී, එෆ්.සී.අයි.ඩී.යේ හොර වැඩ එළියට එද්දී කොහොම හරි පටලවා මාව හිරේට දමන්න හැදුවේ. අපි කනගාටු වෙන්න ඕනෑ යහපාලනය කියන වචනය දාගෙන සම්පූර්ණයෙන්ම කරන්නේ හොර වැඩ. යහපාලනය ඉස්සරහට දාලා. මහ බැංකුව හොරකම් කළා බොරු සාක්ෂි හදලා බොරු නඩු දමනවා. මේ රටට වැඩ කරනවා නොවෙයි".

"මේ වාගේ දේවල් ලංකාවේ සිදු වෙන්න දෙන්න හොඳ නැහැ. ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ මහජනතාවට සහන ලබා ගන්න, රැකී රක්ෂා දෙන්න. ඒවා නොවේ මේ ආණ්ඩුව කරන්නේ. සම්පූර්ණයෙන්ම යහපාලන බෝඩ් එක ගහගෙන අමු දවල් හොරකමේ යන ආණ්ඩුව, හොරකම් වහගන්න මඩ ගහනවා හිටපු නායකයාටයි පැවැති ආණ්ඩුවටයි.
ඒ නිසා අපි මාධ්‍යට විශේෂ ස්තූතියක් කරනවා අද මාධ්‍යයෙන් කරන දේවල් ගැන. අපි ඉවසීමෙන් අහන් ඉන්නවා".

මේ අතර තමන්ට ධෛර්යය දුන්න මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාටද හෙතෙම තම කෘතවේදීත්වය පළ කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top