Oct 19, 2018

'ගුවන් සීමාව චීනයට සින්නකරව ලියා දුන් යුගයට තිත තැබුවා' - මංගල

ආණ්ඩුව රට ණය උගුලක සිරකරමින් සිටින බවට ඇතැමුන් චෝදනා කළ ද සැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරා ගත්තේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මහ පොළොව පමණක් නොව ගුවන් සීමාව පවා චීනයට සින්නකරව ලියා දුන් යුගයට තිත තැබීමට ආණ්ඩුවට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය, ගොවීන්ගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එකවෙමිනි.

අනුරාධපුර, මන්නාරම, බුත්තල සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල මීට පෙර මෙවැනි ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කෙරිණි. පස් වැනි ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ලෙස විවෘත කෙරුණ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 285කි.

ඉදිරියේ දී මෙවැනි තවත් ධාන්‍යාගාරයක් පොළොන්නරුවේ විවෘත කිරීමට සැලසුම් කර තිබේ. වී ඇතුළු ධාන්‍ය වර්ග රැසක් ගබඩා කිරීමේ පහසුව මෙහි පවතින අතර ඒවා ගබඩාකර තබා වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමට ගොවීන්ට මෙමගින් අවස්ථාව උදාවේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top