බොදුබල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා එම ප්‍රකාශය කළේ එම සංවිධානය තමා පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව කටයුතු කළ බවට හිටපු ජනාධිපතිවරයා කල ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
ඊයේ (29) කොළඹ දී පැවැත්වුන විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ හමුවේ දී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, තමා පරාජය කර දැමීම සඳහා බොදු බල සේනා සංවිධානය සහ අමාත්‍ය චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ බවක් කියා සිටියේය.
බොදු බල සේනා සංවිධානය මුස්ලිම් ජනතාවට පහර දී සැලසුම් සහගත ලෙස එම ජනයාගෙන් තමා ඈත් කළ බවත් හිටපු ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.
තමන් නැවත බලයට පත්වූවිට බොදු බල සේනා වැනි සංවිධාන පාලනය කළ යුතු ආකරය හොඳින් දන්නා බවද ඔහු පැවසීය.
එම ඉතිහාසය කවුරුත් දන්නවා :
හිටපු ජනාධිපතිවරයා කරන එම ප්‍රකාශ සම්බන්ධයෙන් 'බීබීසි'ය කළ විමසීමකදී අදහස් දැක්වූ බොදුබල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශන බැහැර කරමින් තම සංවිධානය ඔහුගේ ජයග්‍රහණය පතා ක්‍රියාත්මක වූ බව කියාසිටියේය.
'එම ඉතිහාසය හිටපු ජනාධිපතිතුමාට සම්බන්ධ කවුරුත් දන්නවා' ඩිලන්ත විතානගේ පවසයි.
'මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දැන් ඔහු වටා සිටින පුද්ගලයන්ගේ කීම් අනුව එවැනි ප්‍රකාශන කරනවා.අපි ඒ ගැන කනගාටු වෙනවා' බොදුබල සේනා විධායක නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
බොදුබල සේනා සංවිධානය රාජිත සේනාරත්න සහ චම්පික රණවක ඇමතිවරුන් සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළකළ අදහස් ප්‍රතික්ෂේප කරන බොදුබල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා, තම සංවිධානය ඔවුන් කිසිවකුගේ සංවිධානයක් නොවන බව අවධාරණය කර සිටියේය.