Oct 20, 2018

ITN එකට ෆොනීට ලක්ෂ 20ක ප්‍රචාරයක් දෙන්නැයි නියෝගයක් ! Featured

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස ස්වාධීන රූපවාහිනී සේවයට කඩුවෙල දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා නියෝග කර තිබේ.

ගෙවීමට නියෝගකරන ලද රුපියල් ලක්ෂ 30 න් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඔහුට රූපවාහිනි ගුවන් විකාශන කාලයක් සඳහා යොදා ගැනීමට ද මෙහිදී අවසර හිමිව ඇත.

මේ නියෝගය කර ඇත්තේ රාජපක්ෂ රෙජීමය පැවැති සමයේ දී යුද සමයේ හමුදා ක්‍රියාන්විතයන්ට අදාළව එවකට යුද හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිහිපයක් අයි.ටී.එන්. (ස්වාධීන රූපවාහිනි සේවය මඟින්) විකාශනය කිරීමෙන් ප්‍රේක්ෂක ජනතාව අතර වැරැදි ආකල්ප හැඟීම් ඇතිවීමෙන් බරපතළ ලෙස තමාගේ කීර්තිනාමයට අගතියක් සිදුව ඇතැයි යනුවෙන් ෆොන්සේකා මහතා ගොනුකර තිබූ නඩුවකට තීන්දුවක් ලබාදෙමිනි.

තලවතුගොඩ, වැලිපාර, පුබුදු පෙදෙසේ 461/08 දරන ස්ථානයේ ගාර්දි හේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමට අදාළ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජයවඩනගම පිහිටි ස්වාධීන රූපවාහිනී සේවා ආයතනය හා එම ආයතනයේ මහින්ද අබේසුන්දර යන අයයි.

පැමිණිලිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් සමරරත්න ඇසෝසියේටඩ් නීතිඥ සමාගමේ උපදෙස් පිට පෙනී සිටි නීතිඥ එරංග පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දී තිබුණේ පසුගිය එල්ටීටීඊ යුද සමයේ හමුදා ක්‍රියාන්විතයන්ට අදාළව අසත්‍ය ප්‍රකාශ කිහිපයක් අයි.ටී.එන්. රූපවාහිනි සේවාව හරහා විකාශනය වීම හේතුවෙන් එම දර්ශන නරඹා, අසා ප්‍රේක්ෂක ජනතාව අතර වැරැදි අවබෝධයක්, හැඟීම් ඇති වීමට හේතුවක් වී ඇති බවයි.

එම ප්‍රකාශ අතර යුද්ධයේ අවසාන සටන් අවස්ථාවේ චීනය වෙත යෑම මඟින් ඔහු සටන මඟහැර ඇත.

අවසාන සටන මෙහෙයවීමේ යුද ක්‍රියාන්විතය තුළ ප්‍රභාකරන් ඝාතනය වීමට ඇති ඉඩකඩ අහුරා ඔහුට පැන යෑමට ඉඩ සලසන්නේය.

අවසන් සටන අවස්ථාවේ තම සේවාදායකයා සිටියේ නම් ප්‍රභාකරන් ඝාතනය කළ රණවිරුවන්ට දඬුවම් පමුණුවන්නේය යන හැඟීම් ජනතාව තුළ ඇති වූ බවද පැමිණිල්ල මඟින් පෙන්වා දී තිබිණි.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා පැමිණිලිකරුට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් වගඋත්තරකාර ආයතනය මඟින් ගෙවීමට අධිකරණය නියම කළ රුපියල් ලක්ෂ 30ක මුදල අතරින් රුපියල් ලක්ෂ 10ක මුදලක් නියමිත කාල සීමාවක් ඇතුළත දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව ගෙවීමට අයි.ටී.එන්. ආයතනයට නියෝග කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ එරංග පෙරේරා මහතාද වගඋත්තරකාර ස්වාධීන රූපවාහිනී ආයතනය වෙනුවෙන් නීතිඥ අංජන දිනේශ් මහතා සමඟ නීතිඥ දිල්ශාන් පතිරණ මහතාද පෙනී සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top