Sathosa

Oct 24, 2018

''නාමල් කුමාර බොරුකාරයෙක්: නාලකට එරෙහි චෝදනා බොරු'' Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව හෙළිදරව් කරමින් හඬපටයක් නිකුත්කළ නාමල් කුමාර යනු ගුවන් හමුදාවේ සිටි අයෙක් බවත් ව්‍යාජ ලේඛන සැපයීම හේතුවෙන් ගුවන් හමුදාවෙන් එළවා දැමූ අයෙක් බැවින් ඔහු දැනටමත් විශ්වාසයක් නැති පුද්ගලයෙකු බවත්, ඔහු විසින් ඉදිරිපත් කරන ලද හඬ පට පටිගත කරන ලද දුරකථනයේ ‘ඕඩියෝ කට්’ නමැති හඬවල් සංස්කරණය කරන මෘදුකාංගය ද තිබී ඇති බැවින් එකී හඬ පට පිලිබඳවද විශ්වාසයක් නොමැති බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කියා සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල සංවිධායකයා වන නීතිඥ අජිත් පතිරණ මහතා තවදුරටත් කියා සිටියේ, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව ඉතාමත් දුර්වල ගෙතූ කතාවක් බවයි.

‘නාලක - නාමල් හඬපට ගැළපෙයි’ ‘හඬපට 124 න් 123 ක්ම සැසඳෙන බව රජයේ රස පරීක්ෂකවරයා කියයි’ ආදී වශයෙන් මාධ්‍ය වල පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ප්‍රශ්නය වන්නේ නාලකගේ සහ නාමල්ගේ හඬ පට ගැලපීම නොව, ඒ හඬ පට වලින් නාලක සිල්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කර තිබේ ද? යන කාරණය බවයි.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන නීතිඥ අජිත් පතිරණ මහතාගේ විග්‍රහය පහත වීඩියෝවෙන් බලන්න

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් නාලක සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නේ කිසියම බලපෑමක් හේතුවෙන් යැයි නාමල් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ඊයේ කියා සිටියේ ය.

නාමල් කුමාර නමැත්තා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර එම රාජකාරියෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී, ඔහු යුද හමුදාවට ද බැඳී කලක් එහි සේවය කර ඉන් අනතුරුව ඇවන්ගාර්ඩ් ආරක්ෂක සේවයේ ද රාජකාරී කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.

නිලධාරීන් ඉල්ලා සිටියේ, මොහු මෙම ඝාතන කුමන්ත්‍රණයේ අපරාධ සහයකයෙකු ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අවසර දෙන ලෙස ය.

එවැනි ප්‍රකාශයක් ලබා දිය හැක්කේ, අදාළ පුද්ගලයා අධිකරණය හමුවේ පෙනී සිට ඉල්ලීමක් කළ හොත් පමණක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය නාමල් කුමාර මහතා හෝ ඔහුගේ නීතිඥවරයා එවැනි ඉල්ලීමක් නොකළ නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top