Oct 25, 2018

මහජන බැංකුවට හා ලංකා බැංකුවට අලුත් සභාපතිවරු අද !

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට නව සභාපතිවරුන් අද (25දා) පත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා ප්‍රකාශ කළේය.

ඊට අදාළ නම් ජනාධිපති කාර්යාලයෙන් යෝජනා වී ඇති බවද හෙතෙම කීය.

ඒ අනුව, මහජන බැංකුවට ආචාර්ය දමිතා ද සොයිසාසහ ලංකා බැංකුවට සුජාතා කුරේ යන මහත්මීන් දෙදෙනා පත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ආචාර්ය දමිතා ද සොයිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වන අතර සුජාතා කුරේ මහත්මිය මහාමාර්ග අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියකද වෙයි.

කෙසේවුවද ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතාට එම තනතුරෙන් ඉවත් නොවන්නැයි එජාප ප්‍රධානින් දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාට අලුත් තනතුරක්

මේ අතර පසුගිය 17 වැනිදා දක්වා මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කොට ඇත. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් ඊයේ (24දා) එම පත්වීම සිදු කර ඇත.

හේමසිරි ප්‍රනාන්දු මහතා නව තනතුරට අමතරව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරේද කටයුතු කරයි.

ඔහු ඊට පෙර ජාතික ඔලිම්පික් කමිටුව, ස්වාධීන රූපවාහිනි සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදී ආයතන රැසකද ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top