Oct 25, 2018

පුත්තලම ප්‍රා. ස ඇටවූ අටමඟලකට ගවයෙකු බිලි

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෙප්පමඩුව, විලුක ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල පිහිටි විදුලි කණුවක ඇතිවූ හදිසි විදුලි කාන්දුවක් හේතුවෙන් ඒ අසල තණ බුදිමින් සිටි ගවයෙකු ඊයේ (24) දින විදුලිසැර වැදීමෙන් ජීවතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් කියති.

මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ විදුලි රැහැන් පද්ධතිවල සිදුවන විදුලි කාන්දුවත් සමඟ එකී විදුලි කුළුණේ ප්‍රාදේශීය සභාව මඟින් සවිකර තිබූ විදුලි බුබුළ සම්බන්ධ වන වයර් කඩතොලු වීම නිසවෙන් විදුලි කුළුණේ ස්පර්ශ වීමෙන් ගලා බසින විදුලිය පොළොවට පතිතවී මෙලෙස ගවයා ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

අදාළ විදුලි කාන්දුව සිදුවී ඇත්තේ කෙසේදැයි සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඉකුත් දිනක ඒ ප්‍රදේශය පුරා ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියට සම්බන්ධ භූගත රැහැනක් කඩා වැටී තිබියදී පුත්තලම විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන් පැමිණ එහි කම්බිය ස්ථාන කිහිපයකින් කපා අදාල විදුලි කුළුණුවල ඉහළ සිට පහළට එල්ලෙන සේ දමා ගොස් තිබූ බව කියයි.

විදුලි බල මණ්ඩලය මඟින් එලෙස දමා ගොස් තිබූ භූගත කම්බිය සවිකර තිබූ විදුලි කණුවේ විදුලි බුබුළක වයරයක් අතර ඇතිවූ ස්පර්ශවීමක් හේතුවෙන් ඒ තුලින් විදුලිය ගලා ඒමෙන් මෙම අනතුර සිදුව ඇති බව කියයි.

ඒ ප්‍රදේශය පුරා පාසල් යන වියේ ළමුන් නිරන්තරයෙන් ගැවසෙන නිසාවෙන් මෙවැනි අවධානම් සහගත විදුලි බල සැපයුම් පද්ධති අටමගුල් බවට පත්කොට එදා කුලියෙන් මල්ල තරකර ගන්නා පුත්තලම විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන් සහ අනෙකුත් වගකිය යුතු නිලධාරීන් පිළිබඳව ප්‍රදේශයේ ජනතාව කණස්සල්ල පලකර සිටී.

එපමණක් නොව මෙයට සෘජුවම වග කිව යුතු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රමුඛ කාර්ය මණ්ඩලය බවද ඔවුහු පවසති.

සටහන සහ ඡායා
ප්‍රියංකර කළුපහන - පුත්තලම

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top