Oct 25, 2018

දුම්වැටිවලට බදු ගැහුවට එකතුකරන්න නිලධාරියෙක් නෑ ! Featured

මාස ගණනාවක සිට දුම්වැටි නිෂ්පාදනයේදී රජයට අයකර ගත යුතු බදු මුදල් අයකර ගැනීමට සුරාබදු පරීක්ෂකවරයකු ස්ථීර සේවයේ යොදවා නැති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සුරාබදු විශේෂ විධිවිධාන පනතට අනුව නිෂ්පාදිත සෑම දුම් වැටියකින්ම රජයට බදු අයකර ගත යුතුය.

එම තනතුර සඳහා සුරාබදු පරීක්ෂකවරයකු පත්කිරීම අනිවාර්ය නීතියක් බව පැවසේ.

දැනට මාස කිහිපයක සිට මෙම රාජකාරිය සඳහා යොදවා ඇත්තේ සුරාබදු නියාමකවරුන් දෙදෙනකු පමණක් බවද වාර්තා වේ.

මෙම රාජකාරිය සඳහා ස්ථීර සුරාබදු පරීක්ෂකවරයකු නොමැති නමුත් ආසන්නතම සුරාබදු ස්ථාන වෙතින් විටින් විට සුරාබදු පරීක්ෂකවරු දුම්වැටි නිෂ්පාදන ක්‍රියාවලියේදී රජයට හිමිවිය යුතු බදු මුදල් අයකර ගැනීම සඳහා යොදවා ඇති බවද හෙළිදරව් වේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට සුරාබදු පරීක්ෂකවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවත්, දුම්වැටි නිෂ්පාදනයේදී පමණක් නොව මත්පැන් බෝතල් නිෂ්පාදනය කරන ස්ථානවලටද ස්ථීර සුරාබදු පරීක්ෂකවරු යොදවා ගැනීමට හැකියාවක් නැති බව මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතාගෙන් මාධ්‍යට පවසා තිබේ.

කෙසේවුවද, රජයට අයවිය යුතු බදු මුදල් එකදු සතයක්වත් අඩුවක් නොමැතිව ආසන්නතම සුරාබදු කාර්යාල වෙතින් සුරාබදු පරීක්ෂකවරු විටින් විට රාජකාරියේ යොදවමින් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බව ඒ මහතා කියයි.

ඉදිරි මාස කිහිපය ඇතුළත සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා අලුතින් නිලධාරීන් බඳවා ගන්නා බවත් ඉන්පසු එවැනි ස්ථාන සඳහා ස්ථීර සුරාබදු පරීක්ෂකවරු පත්කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top