Oct 26, 2018

රවීගේ නිවසේ ඩ්‍රෝන සෙල්ලම හෙළිවෙයි

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙකි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඊයේ (25දා) දහවල් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඇති අයුරු එම නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දැක වහාම එය ගුවන්ගත කරමින් සිටි පුද්ගලයන් අසලට ගොස් ඒ පිළිබඳ විමසා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන රෝපණ වැඩසටහනට අයත් රූගත කිරීමක් ඩ්‍රෝනා කැමරාවක ආධාරයෙන් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරයක් ලබාගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය දැනුම්වත් කළ යුතු වුවද මෙම අධි ආරක්ෂිත කලාපයේ සිදුකළ මෙම ක්‍රියාව සඳහා ඒ කිසිදු අවසරයක් ගෙන නොමැති බවත් හෙළි වී තිබේ.

එම ව්‍යාපෘතිය භාර වන සංරක්ෂණ නිලධාරියා සහ ඩ්‍රෝන කැමරාවද සමග එහි ක්‍රියාකරු අද (26දා) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top