Oct 29, 2018

මහ මැතිවරණයක් ! - මහින්ද තම අරමුණ පැහැදිලිව කියයි

හැකි තරම් ඉක්‌මණින් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවා රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් මුදා ගන්නා නව වැඩපිළිවෙළකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම තමා සමඟ සිටින දේශපාලන පක්‌ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වන බව ජනාධිපතිවරයා විසින් පත් කල අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

වෛරී දේශපාලනය පිටුදැක රටේ නීතිය හා සාමය තහවුරු කරන අන්තර්කාලීන ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂවලට ආරාධනා කරන බව මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවේදනය මගින් දැනුම් දී සිටියි.

එම නිවේදනය සම්පුර්නයෙන් මෙසේය.

රට තුළ බරපතල අනාරක්‌ෂිත බවක්‌ !

 ''පැවති රජයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ශ්වය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව නව ආණ්‌ඩුවක්‌ පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. 

ජනාධිපතිවරයා නව රජයක්‌ පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය.

අද අපේ රට තුළ බරපතල අනාරක්‌ෂිත බවක්‌ පැතිර ගොස්‌ ඇත. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‌ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබේ. 

කුමන්ත්‍රණයට සම්බන්ධ වූ පාර්ශ්වයන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හෙළිදරව් වෙමින් පවතී. පසුගිය වකවානුවේ මුළු රට පුරාම අපරාධ රැල්ලක්‌ පැතිර ගිය ආකාරය කවුරුත් දුටුවේය.

 රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් තිබේ. රුපියල භයානක ලෙස අවප්‍රමාණය වී ඇත. ලෝක ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකවල අපේ රට පහළටම වැටී ඇත. 

ජීවන බරින් අපේ ජනතාව තැලී පොඩිවී මිරිකෙමින් සිටී. එ.ජා.ප නායකයන්ගේ මහ බැංකු කොල්ලය හේතුවෙන් රටේ පොලී අනුපාතය දෙගුණයකට වඩා වැඩි වී ව්‍යාපාරිකයන් හා ජනතාව පීඩනයට පත්වී සිටී. ඒ අතරතුර එම අසාර්ථක ආණ්‌ඩුව වටිනා රාජ්‍ය සම්පත්, දේපල හා ව්‍යාපාර විදේශීය රටවල්වලට විකුණමින් සිටියේය.

අන්තර් කාලීන ආණ්‌ඩුවක්‌ පිහිටුවීම :

මේ අවදානම් සහගත මොහොතේදී ජනතාව අපගේ නායකත්වය හා රැකවරණය බලාපොරොත්තු වන බව දැන සිටි නිසා මම ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගෙන අග්‍රාමාත්‍ය තනතුර භාර ගතිමි. 

මෙහිදී අපගේ අභිප්‍රාය වන්නේ පසුගිය වකවානුවේ මේ රටට මහත් පිළිලයක්‌ වූ වෛරී දේශපාලනය පිටු දැක සෑම පුරවැසියකුගේම මූලික මානව අයිතීන් සුරකින, අධිකරණයේ ස්‌වාධීනත්වය හා ගරුත්වය රකින, රටේ නීතිය හා සාමය තහවුරු කරන, අන්තර් කාලීන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමයි.

මේ සඳහා අප සමඟ එක්‌වන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්‌ෂවලට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. 

පාර්ලිමේන්තු මැතිවරණයක්‌ :

පසුගිය වකවානුවේ රට තුළ පැතිරෙමින් පැවති ආරාජික තත්ත්වය පිටුදැක ස්‌ථාවර පාලනයක්‌ ඇති කිරීමට මේ රටේ සිංහල, දෙමළ මුස්‌ලිම් යන සියලුම ජාතීන්වලට අයත් ජනතාවට සහ බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් හා ක්‍රිස්‌තියානි ආගම් අදහන සියලුම පුරවැසියන්ට මේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යයට සහභාගි වන මෙන් මම ආරාධනය කර සිටිමි.

 පසුගිය වකවානුවේ දිගින් දිගටම කල් දමමින් තිබුණු පළාත් සභා ඡන්ද වහාම පැත්වැත්වීමත්, හැකි තරම් ඉක්‌මණින් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවා රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් මුදා ගන්නා නව වැඩපිළිවෙළකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම මා සමඟ සිටින දේශපාලන පක්‌ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වේ.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top