Oct 30, 2018

අගමැති අර්බුදය: "තවම තීරණයක් නෑ"- TNA Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහ කරනු ලැබ නව අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට රට තුළ දේශපාලන අර්බුදයක් මතු වී තිබේ.

ඒ සමගම ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 16 වෙනි දින දක්වා පාර්ලිමේන්තුව කල් දමනු ලැබුව ද, පාර්ලිමේන්තුව වහාම යළි කැඳවන මෙන් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය කතානායක කරු ජයසූරියගෙන් ලිඛිතව ඉල්ලීම් කර තිබේ.

මන්ත්‍රීවරුන් 129 ක් පමණ එම ලිපිවලට අත්සන් තබා ඇති බව ද බීබීසී සිංහල සේවය වෙත අනාවරණය වේ.

කෙසේ වුවත් මේ අර්බුදයේදී කවර ස්ථාවරයක් ගත යුතු දැයි මෙතෙක් තීරණය කර නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

'මන්ත්‍රීවරුන්ගේ අයිතිය'

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සන්ධානයේ මන්ත්‍රීවරුන් අඟහරුවාදා රැස්වන බවය.

පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ කිසිදු පාර්ශවයකට සහාය දීම පිණිස නොවන බව ද ඔහු අවධාරණය කළේය.

"අපි ඒ ඉල්ලීම කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාල ජනතාව තෝරා ගත්ත නායකයෝ. මේ සම්බන්ධව ස්ථිර තීරණයක් අන්තිමෙන් ගන්න ඕන පාර්ලිමේන්තුව නිසා."

මන්ත්‍රීවරුන්ගේ ඒ අයිතිවාසිකමට කිසිදු බාධාවක් නොවිය යුතු බව ද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

Sworn PM Mahinda 670px 20 10 18මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව

වැඩිදුරටත් කරුණු දක්වූ විපක්ෂනායක ආර් සම්බන්ධන්: "අපි මේ ඉල්ලීම කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නෙවෙයි; මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නෙවෙයි. අපි ඉල්ලලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ අයිතිවාසිකමක්," යනුවෙන් ද සඳහන් කළේය.

"විපක්ෂනායකවරයා හැටියට මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කරන්න ඕන."

තමන්ට දෙමළ ජාතික සන්ධානයේ ද සහය හිමිවන බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මීට පෙරාතුව සඳහන් කර තිබුණි.

සඳුදා උදෑසන කතානායක කරු ජයසූරිය මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු හමු වූ අවස්ථාවේ එහිමියන්ගේ උපදේශය වී තිබෙන්නේ ද අර්බුදයට ඉක්මන් විසඳුමක් සොයාගත යුතු බවය.

පාර්ලිමේන්තුව කල් තබා තිබෙන අවස්ථාවක පක්ෂ නායක රැස්වීමක් ද කැඳවිය නොහැකි බැවින්, පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ නිල නොවන සාකච්ඡාවක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වීමට නියමිතය.

(බීබීසී සිංහල සේවය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top