Sathosa

Nov 01, 2018

"113 පෙන්වීමේ අවශ්‍යතාවක්‌ නෑ" - මහින්ද සමරසිංහ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කල ද පාර්ලිමේන්තුව තුළ බහුතරයක්‌ පෙන්වීමේ අවශ්‍යතාවක්‌ නැති බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.


ඇමැතිවරයා එසේ පැවසුවේ ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති නව රජයේ පළමු මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.

"ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළේත්, නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පත්කළේත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලවයි. ඒ සම්බන්ධව යම් ගැටලුවක්‌ පවතිනවා නම් අධිකරණයේ නඩුවක්‌ පවරා ඒ සම්බන්ධව තීන්දුවක්‌ ලබාගත හැකියි. 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 113 ක්‌ පෙන්විය යුතු යෑයි කියා ව්‍යවස්‌ථාවේ කොහේවත් නැහැ. එනිසා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය යුතුයි කියා අනිවාර්ය නැහැ. නමුත් අපට පාර්ලිමේන්තුවේ 113 ට වැඩි බලයක්‌ තියෙනවා."

"රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ" - ගම්මන්පිල  
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට යළි අගමැති ධුරය හිමි නොවන බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද පවසයි.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේය.

"පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා බහුතරය පෙන්වීමේ හැකියාවක් නැහැ. ජනාධිපතිවරයා පත් කළ අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව තියෙන්නේ ජනාධිපතිවරයාට එසේත් නැත්නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා වැඩි ජන්දයෙන් සම්මත කර ගන්න ඕනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් සදහන් වෙලා නැහැ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා කියලා අගමැතිධුරය ලබා ගන්න පුළුවන් කියලා" මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් ස‍‍ඳහන් කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top