nsb
Sathosa

Nov 02, 2018

ආක්‍රමණකාරී ලෙස බලය අල්ලා ගන්නැයි රුසියාවේ තානාපතිගෙන් මහින්දට උපදෙස් Featured

ශ්‍රී ලංකාවේ අගමැති ධුරය සඳහා මතබේදාත්මක අයුරින් ජනාධිපතිවරයා විසින් පත් කර ඇති මහින්ද රාජපක්ෂ මහතාට ආක්‍රමණකාරී ලෙස බලය පවත්වාගෙන යාම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වරයා විසින් දී ඇති උපදෙස් මාලාවක් හෙළිදරව් වී තිබේ.

ව්‍යවස්ථා විරෝධී බවට දෙස් විදෙස් හෙලා දැකීමට ලක්වී ඇති ක්‍රියාදාමයකින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දී තුන් දිනක් ඇවෑමෙන් තානාපති දයාන් ජයතිලක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාට එවන ලද ඊ මේල් පණිවුඩයේ පිටපතක් 'රේඩියෝ ගගන' විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් සිය දුතයා ලෙස ආචාර්ය ජයතිලක මහතා මොස්කව් නුවරට අගෝස්තුවේ පත් කර යවන ලද්දේ සම්මුති ආණ්ඩුව පිහිටුවීමට උර දුන් සමාජ ක්‍රියාධාරීන් සහ සංවිධාන සියයකට වැඩි ගණනක විරෝධය මධ්‍යයේය.

Dayan to vasu 1

“හදිසියි: වාසු සහෝදරයා හරහා මහින්ද රාජපක්ෂ අගමැති ට” යන හිසින් දයාන් ජයතිලක විසින් ඔක්තෝබර් 29 දා යවා ඇති පණිවිඩයෙන් “අලුත් ආණ්ඩුවෙන්” දැඩි කොට ඉල්ලා ඇත්තේ බලය එහාට මෙහාට වීමට ඉඩ නොදී ආක්‍රමණශීලී වන ලෙසයි.

“මේ මුල පිරීම සීසෝ පද්දන්නට කිසිවිටෙකත් ඉඩ නොදිය යුතුයි,” යනුවෙන් තානාපතිවරයා සිය උපදෙස් මාලාව ආරම්භ කරයි.

“මේ ආක්‍රමණකාරී ගතිකය ග්‍රහණයට ගෙන අලුත් ආණ්ඩුව විසින් පවත්වාගෙන යා යුතුය.”

අරලියගහ මන්දිරයේ “විධාන කේන්ද්‍රයක් පවත්වාගෙන යමින්” සම්මුති ආණ්ඩුවේ අගමැතිවරයාට බලය තහවුරු කරගැනීමට ඉඩ නොදෙන ලෙසද ඔහු මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

 “ප්‍රතිගාමී” සහ “ප්‍රතිවිප්ලවකාරී”

 රනිල් වික්‍රමසිංහ ට සහාය දක්වන පිරිස් දයාන් ජයතිලක විසින් හඳුන්වා දී ඇත්තේ “ප්‍රතිගාමී” සහ “ප්‍රතිවිප්ලවකාරී” බලවේග ලෙසයි.

ඊට ඇමරිකා එක්සත් ජනපදය සිය තානාපති කාර්යාලයේ යුක්රේන නිලධාරීන්ද යොදවාගෙන සහාය දෙන බවට රුසියාවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා චෝදනා කරයි.

“අපේ ස්වෛරී භාවයට අමු අමුවේ අත පොවමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරු දිය යුතුය. ප්‍රතිවිප්ලවය ජාත්‍යන්තර වශයෙන්ද, යුක්රේන නිලධාරීන් හතර දෙනකු සේවයේ යොදවාගෙන, නව රජය අස්ථාවර කිරීමට වීරිය කරන කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය තුලද දියත් වෙමින් පවතී.”

US State department

 තානාපති ජයතිලක විසින් එවන ලද ඊමේල් පණිවිඩයට දිනකට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ නිවේදනයකින් ජනාධිපතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලා තිබුනේ ආණ්ඩුවේ ප්‍රධානියා කවුදැයි තෝරා ගැනීමට මන්ත්‍රීවරුන්ට ඉඩ සලසනු පිණිස වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි.

කෙසේවෙතත්, විදේශීය බලවේග ශ්‍රී ලංකාවේ අර්බුදයට මැදිහත් වී ඇතැයි පලවන තොරතුරු සම්බන්ධයෙන් සම්මුති ආණ්ඩුවේ අගමැතිවරයා විසින් චෝදනා නගා ඇත්තේ සමාජ මාධ්‍ය වලටයි.

“ශ්‍රී ලංකාවේ අර්බුදය පසුපස විදේශීය රටක් ඉන්නා බවට පලවන චෝදනාව සමහර සමාජ මාධ්‍ය වල පළකර තිබෙන පුංචි තොරතුරක් පමණයි,” රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී විදේශීය මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර තිබුනි.

 විදේශ ඇමතිකම දිනේෂ්ට !

ශ්‍රී ලංකාවේ බලය අල්ලා ගැනීම සඳහා වන සටන “ගෝලීය සංග්‍රාම භුමියේ” සිදුවන බවට මහින්ද රාජපක්ෂට අනතුරු අඟවන ආචාර්ය දයාන් ජයතිලක ඊට මුහුණ දීම සඳහා විදේශ අමාත්‍ය ධුරයට යෝග්‍ය “මතවාදී වශයෙන් නිරවුල්, සචේතනිකව අධිරාජ්‍ය විරෝධී” අයකු ලෙසින් දිනේෂ් ගුණවර්ධන යෝජනා කරයි.

එම යෝජනාව කර දිනකට පසු රුසියානු විදේශ අමාතංශයට ගොස් සිරිසේන-රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ “උණුසුම් සුබ පැතුම්” පිරිනැමූ බව දයාන් ජයතිලක පවසයි.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය යුක්ති සහගත කිරීමේ “යුද්ධයෙන්” රාජපක්ෂවාදී බලවේග පරාජය වී ඇති බව පෙන්වා දෙන ජයතිලක තානාපතිවරයා, ඊට එරෙහි ප්‍රහාරය සඳහා “ගාලු මුවදොර 2017” ට වැඩි ජනකායක් මෙහෙයවා ගන්නා ලෙස මහින්ද රාජපක්ෂට උපදෙස් දෙයි.

“තර්ක, අදහස් හා මතවාදී යුද්ධයේ සතුරා ප්‍රහාරක ස්ථාවරයක සිටින අතර අප ඉන්නේ ආරක්ෂණ වාදීවය,” යි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක අනතුරු අඟවා සිටී.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top