Nov 02, 2018

අගමැති අර්බුදය : බහුතරය කාට ද? අලුත්ම තත්ත්වය මෙන්න Featured

පවතින දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් පිල් මාරුකරමින් සිටින මොහොතක අද (02) වන විට එහි සංයුතිය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජනාධිපතිවරයා විසින් පත්කළ නව ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, අවශ්‍ය අවස්ථාවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර ගන්නා බවයි.

ඒ අතර එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ, අගමැති රනිල්ට පක්ෂ බහුතර බලය පාර්ලිමේන්තුව රැස්වූ වහාම පෙන්වන බවයි. "අපිට මන්ත්‍රීවරුන් 124 දෙනෙකුගේ සහය තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන බව ඔප්පු කරනවා," ඔහු ප්‍රකාශ කළේය.

Diminda Swornඊයේ දිව්රුම් දීමෙන් පාර්ලිමේන්තුවේ සංයුතියට බලපෑමක් නොමැත

 

ඊයේ (01) රාත්‍රී ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් ඇමතිවරුන් ලෙස දිව්රුම් දුන්නද අංක ගණිතය අනුව එය පාර්ලිමේන්තුව තුල සන්ධානයට හිමිව තිබූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 96 ඉක්මවා යාමක් නොවේ. එනම්, පිල් මාරු කිරීමක් නොවේ.

එහෙත්, මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සහය දුන් මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ සහය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමත් වී ඇති අතර, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත පෙන්වීම සඳහා ඔහුට තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය අවශ්‍ය වී තිබේ.

අනුව එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු අද (02) දිනය තුලදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහය පළකරමින් කැබිනට් අමාත්‍ය ධුරයන් හි දිව්රුම් දීමට නියමිත බවත් ලබන ඉරිදා දිනය තුලදී බහුතර බලය රට හමුවේ ප්‍රදර්ශනය කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කෙසේවුවද එජාප මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසන්නේ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ලෙස දිව්රුම් දුන් කිහිප දෙනෙකු අවශ්‍ය මොහොතේදී යලි තම පාර්ශවය වෙත එක්වීමට නියමිත බවයි.

parlimant count පසුගිය මහ මැතිවරණයට අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය

ඉහත සටහනට අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ සියළු මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ අන්තර් කාලින ආණ්ඩුවට සහාය පළ කරන්නේ යැයි අනුමාන කලහොත් ඔවුන්ට හිමි මුළු මන්ත්‍රීවරුන් ගණන 95 දෙනෙකි. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) හි ඩග්ලස් දේවානන්ද මහතාගේ සහය ද හිමිව තිබුනේ ඔවුන්ටය.

එක්සත් ජාතික පක්ෂය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ විජේදාස රාජපක්‍ෂ, වසන්ත සේනානායක, ආනන්ද අලූත්ගමගේ, වඩිවේල් සුරේෂ් හා දුනේෂ් ගන්කන්ද යන අය පස් දෙනා මේවනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ අන්තර් කාලින ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධුර භාරගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ට මේවනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101කගේ සහය ලැබී ඇත.

දැන් දෙපැත්තම සමානයි :

එක්සත් ජාතික පක්ෂය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ මුළු මන්ත්‍රීවරුන් ගණන 106 දෙනෙකි. කතානායකවරයා හැරුණු විට ඔවුන්ගේ මන්ත්‍රීවරුන් ගණන 105 ක් වේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ වෙනම තේරීපත් වූ මන්ත්‍රීවරයෙකුගේ සහය ලැබී ඇත්තේ ද එක්සත් ජාතික පක්ෂයටය.

එක්සත් ජාතික පක්ෂය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු මේ වනවිට මෛත්‍රී - මහින්ද හවුලට සහාය පළ කර ඇති නිසා මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග සිටින මන්ත්‍රීවරුන් ගණන 101 කට අඩුවී ඇත.

දෙමල සන්ධානයේ හා ජවිපෙ මන්ත්‍රීවරු 22 කාටද ?

Anura Sampandan 02 11 18උතුර දකුණ යාකරන අලුත් පෙරමුණක් හැදෙයි ද ?

දෙමළ ජාතික සන්ධානයේ (ඉලංකෙයි තමිල් අරසු කච්චි) මන්ත්‍රීවරුන් ගණන 16 දෙනෙක් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණන 06 දෙනෙකි.

මෛත්‍රී- මහින්ද අන්තර් කාලින ආණ්ඩුවකට හෝ එක්සත් ජාතික පක්ෂයේ හවුල් ආණ්ඩුවකට හෝ තම පක්ෂය කිසිඳු ආකාරයකින් සහය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ මේවනවිටත් අවධාරණය කර ඇති අතර මේ අර්බුදයේදී කවර ස්ථාවරයක් ගත යුතු දැයි මෙතෙක් තීරණය කර නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයෙකු පත් කෙරෙන ආකාරය පහත දැක්වේ.

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/15599-pm#sigProIdacccc08198


මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top