Nov 03, 2018

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැලවෙයි !  Featured

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික හිටපු ඇමැති සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඉවත් කිරීම පිළිබඳ නීතිමය තත්ත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විමසා ඇති බව වාර්තා වේ.
 
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමග සරත් ෆොන්සේකා කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබේ. 
 
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 
 
නීති උපදේශකයින් හා උසස් ආරක්ෂක අංශ ජනාධිපති සිරිසේන මහතාට පෙන්වා දී ඇත්තේ එම ක්‍රියාව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවයි. 
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියකු පැවසුවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර යනු යුද හමුදාවේ සක්‍රීය තනතුරක් බැවින් ඔහුට යුද හමුදාවෙන් පූර්ණ ආරක්ෂාවක්ද කාර්යාලයක්ද ලබාදී ඇති බවයි. 
 
ෆීල්ඩ් මාර්ෂල් වැනි තනතුරක් දරන්නකුට දේශපාලනය කිරීමද නොහැකි ක්‍රියාවක් බැවින් එවැනි අවස්ථාවලදී එම තනතුරෙන් ඉවත්ව දේශපාලනයට පිවිසීම නීතිය හා සම්ප්‍රදාය බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
රාජ්‍ය නායකයින් හමුවල, විදේශ රාජ්‍ය නායකයින්, නිදහස් දිනයේ වැනි අවස්ථාවලදී ෆීල්ඩ් මාර්ෂල් තනතුරට නියමිත නිල ඇඳුම් පැලඳීම නිසා ඔහු සක්‍රීය සේවයේ සිටින බව පැහැදිලි වන බවද ඒ මහතා සඳහන් කළේය. 
 
කෙසේවුවද, නීතිමය තත්ත්වය අනුව එම තනතුර ලබාදීමේ බලය ඇත්තේ විධායක ජනාධිපති සේනාධිනායකයාට බැවින් අදාළ තනතුර ඉවත් කිරීමේ බලයද හිමිව ඇත්තේ ජනාධිපතිවරයාට බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
(අරුණ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top