Sathosa

Nov 07, 2018

'ඔව් අපි සමනල්ලු අපි තමයි' - ජනපතිගේ කතාවට රාජිත කියයි

ආණ්ඩුව මෙහෙයවුයේ සමනල්ලු නම් ඒ අපි තමා යයි පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියහ.

ඊට පිළිතුරු ලබාදුන් දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ “එම කථාව මට නම් පුදුමයක් දනවන බවයි. “සමනල්ලු” කියනවා නම් මේ ඉන්න අපි තමයි.” තේරුමක් නැති දේවල් වලට පිළිතුරු දීම අනවශ්‍ය බව මන්ත්‍රීවරයා මෙහිදී පැවැසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා.

''අපේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහය අසාර්ථක වෙලා''

“රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කථානායකවරයා විසින් මේ වන විට පිළිගෙන තිබෙනවා. අපගේ ජන අරගලය දිනෙන් දින ජය ගන්නවා. අපේ පැත්තේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහය අසාර්ථක වෙලා.

එම අට්ටාලය හදාගත් නායකයින් සුළු දේශපාලන පක්ෂවල නායකයින්ටත් කථා කරනවා. එක එක මන්ත්‍රීවරු බිලි බා ගැනීම අමාරු වෙලා. ඔවුන් බංකොලොත් වෙලා.

ජනාධිපතිවරයා එම ධූරයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය යන රටවල් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ණය සහ ආධාර නතර කර තිබෙනවා.

නීති විරෝධී අග්‍රාමාත්‍යවරයා කිසිදු රටක් පිළිගෙන නැහැ. සුබපැතුම් එක් කර තිබෙන්නේ ලොව දුෂිත රටක් වන බුරුන්දි රාජ්‍ය පමණයි. දුෂිතයින්ට ඔවුන් ගැලපෙනවා.

''මිලේඡ්ච රජයක් බිහි වෙමින් තිබෙනවා''

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය කාලයේ ලෝකයම පිළිගත් නායකයෙක් වුනා. ජාත්‍යන්තර ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය බිහි කරන්නේ කොහොමද කියලා ලංකාවෙන් ඉගෙන ගන්න පුළුවන් කියලයි. නමුත් අද ප්‍රජාතන්ත්‍රවාදය කටේ තිබුන ද ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. මිලේඡ්ච රජයක් බිහි වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකාව ඒකාධිපතිත්වය දක්වා ගමන් කරන බවට ජාත්‍යන්තර චෝදනා කරනවා. මම ජනාධිපතිවරයාගෙන් අදත් ඉල්ලා සිටින්නේ ඔබ තවත් ප්‍රමාද නැහැ. නම ආරක්ෂා කර ගන්න. මම ඒ පිළිබදව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා.

ජී 7 සමුළුවට සහභාගි වූ විට ලොව ප්‍රබල රාජ්‍ය නායකයින් ජනාධිපතිවරයා ලගට පැමිණ සුබපැතුම් එක් කළා. එම රාජ්‍ය නායකයින් අද ජනාධිපතිවරයාට විරෝදය පළ කරනවා.

පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා :

ලොව ප්‍රථම වරට රාජ්‍ය නායකයෙක් පිල් මාරු කර තිබෙනවා. එය දේශපාලන ඉතිහාසයට එක්වෙනවා. අපි ජන බලය පෙන්වන ගමන් පාර්ලිමේන්තු බලයත් පෙන්වනවා. ජනතා සටන් මෙන්ම සාකච්ඡා මාර්ගයෙන්ම ප්‍රශ්නය විසදා ගැනිමට කටයුතු කරනවා. නමුත් දිනෙන් දින ඔවුන් පරාජයට පත් වෙනවා.

Ranil Manushaමනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාගේ පැමිණීමත් සමග අපට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 කගේ බහුතර බලයක් තිබෙනවා. එම බලය තවත් වැඩිවෙනවා මිස අඩු වන්නේ නැහැ. තවත් ඉදිරියේ දී මන්ත්‍රීවරුන් පිරිසක් අපිත් සමග එකතු වෙනවා. මේ නිසා ප්‍රතිවාදීන් පිස්සන් කොටුවට හෙණ ගහලා වගේ කැළඹිලා ඉන්නේ.

මානසික ආතතියට පත් වෙලා ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ සටන අපි ඉදිරියටත් ගෙන යනවා. මෙම ව්‍යවස්ථා විකෘතිය අදට පමණක් නොව ඉදිරි අනාගතයටත් බලපානවා. මුළු ඉතිහාසයටම සාප වෙනවා. ඊට එරෙහිවයි අපි කටයුතු කරන්නේ.

යහපාලන රජය මාධ්‍ය නිදහස ලබාදුන්නා. නමුත් වර්තමානයේ පැරණි මාධ්‍ය සංස්කෘතිය බිහි වී තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට රජයේ ප්‍රධානීන්ට බලපෑම් එල්ල කරනවා.”

 

ජාත්‍යන්තර බලපෑම්:

 ජාත්‍යන්තර බලපෑම් එල්ල වන බවට නැගෙන චෝදනා පිළිබදව ද මාධ්‍ය වේදීන් මෙහිදී විමසා සිටියහ. ඊට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ පැවැසීය.

“අපේ රටේ අපනයන වලින් සියයට 68 ක් යුරෝපා රටවලට අපනයනය කරනවා. නමුත් වර්තමාන නායකයින් ප්‍රකාශ නිකුත් කරන්නේ ලිං මැඩි මානසිකත්වයෙන්. ජාත්‍යන්තරය සම්බාධක පැනවූවොත් මොකද වෙන්නේ. ජි.එස්.පී ප්ලස් තීරුබදු සහනය නතර කළහොත් ඇගළුම් ක්ෂේත්‍රයේ දසලක්ෂයක් පමණ සේවකයින් අසීරුතාවයට පත් වෙනවා.

ජාත්‍යන්තරය ලබාදෙන ණය ආධාර නතර වී තිබෙනවා. අපි සංවර්ධිත රටවලින් තමයි ණය සහ ආධාර ගත්තේ ස්වාසිලන්තයෙන් නොවෙයි. ජාත්‍යන්තර පිළීබදව මෝඩ කථා කියනවා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top