Nov 08, 2018

ඡන්දෙකට යන්නේ පොහොටුවෙන් ද? සන්ධානයෙන් ද ? මත ගැටුමක් ! Featured

හදිසි මැතිවරණයකට යාමට සිදුවුවහොත් මෛත්‍රී - මහින්ද හවුල එවැනි මැතිවරණයකට ඉදිරිපත්වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ 'පොහොට්ටු' පක්ෂයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යන කාරණය ඊයේ දිනය තුලද අලුත් ආණ්ඩුවේ ප්‍රධානි අතර බරපතල ලෙස සංවාදයට ලක්ව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමේ සුදානමක් සම්බන්ධයෙන් රාවයක් පැතිර යාමත් සමගය. 

එසේම, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ 'පොහොට්ටුව' ලකුණින් බවටත්, වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවටත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පෙරේදා මාධ්‍ය හමුවකදී සිදුකර ඇති ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇත.

ජන මහිමයේ කෙනෙහිලි !

එසේම, පසුගිය 05දා පාර්ලිමේන්තුව අසල පැවති රැලියේ න්‍යාය පත්‍රය අනුව කතා පවත්වන ලද දේශකයින් ලැයිස්තුව ද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සැලකිල්ලට ලක්ව ඇත.

එහි එක් අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාට කතාවක් වෙන් කර තිබී ඇති නමුත් වහාම එම කතාව අත්හිටුවන ලද බව වාර්තාවේ. “ඔය මිනිහට කතා ඕනැ නැහැ. මේක අපේ රැළියක්.” යයි පොහොට්ටුවේ ප්‍රධානියකු පැවසු බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අවසානයේ මහින්ද අමරවීර හා දුමින්ද දිසානායකට පමණක් ‌නොව , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසට පවා කතාවක් කිරීමට අවස්ථාවක් හිමි නොවිය.

ඒ වෙනුවට පවිත්‍රා, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ගම්මන්පිළ ආදීන්ට කතා කිරීමට අවස්ථාව ලැබී තිබිණ.  මෛත්‍රී පිලේ කිසිවෙකුටවත් කතාවක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබුනු අතර න්‍යාය පත්‍රයෙන් ඔවුන්ගේ නම් කපා හැර තිබිණි.
posඑදින මුලු ජයවර්ධනපුර ඇතුලු කෝට්ටේ ප්‍රදේශය පුරාම කටවුට්, බැනර් හා පොස්ටර් වපුරා තිබුනි. හැම විදුලි කණුවකම මහින්ද රාජපක්ෂ මහතාගේ දැවැන්ත කටවුට් එල්ලා තිබු අතර අඩි විස්සයි දහය ප්‍රමාණයේ ඩිජිටල් තිර ගණනාවක් තැන් තැන්වල ප්‍රදර්ශනය කර තිබිනි.

නමුත් වැදගත්ම කාරණය නම් මෙම සෑම බැනර්, කටවුට් හා පෝස්ටර්වල අන්තර්ගත ව තිබුනේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල පමණය. 

ඊට සහභාගි වු ජනතාව එක හෙළා ප්‍රකාශ කළේ “කාගේද මේ බලවේගේ- මහින්දගේ බලවේගේ” යන්න පමණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විසි වී ගොස් තිබු ආකාරය පැහැදිළිව පෙණින.

දුමින්දට හා අමරවිරට බලපෑම් !
PHOTO 2018 11 06 13 23 22
අලුත් ආණ්ඩුව ආරම්භයේදී ම එල්ලවෙමින් තිබෙන මෙවැනි කෙනෙහිලි සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට සහය දැක්වූ  ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හා  ශ්‍රීලනිප ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හමුවී තමන් මුහුණ දී සිටින අර්බුදය පැහැදිලිකර තිබේ.

අලුත් ආණ්ඩුව යටතේ ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ට, ශ්‍රීලනිපය නියෝජනය කරන පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ අනාගතය සම්බන්ධයෙන් ලබාදිය හැකි සහතිකය කුමක්දැයි එම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් දෙදෙනාගෙන් විමසා ඇත.

හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ශ්‍රීලනිප ඇමැතිවරුන්ටද පොහොට්ටුවෙන් තරඟ කිරීමට සිදුවීමේ අනතුර මෙහිදී  දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර නාමයෝජනා ලබාදුන්නා ද පසුව ශ්‍රීලනිප අපේක්ෂකයින් සැලසුම් සහගතව පරාජය කරවීමේ හැකියාව මෙහිදී කතාබහට ලක්ව තිබේ.

අමාත්‍ය අමරවීර මහතා අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දෙකට නැමි සිටින ජායාරුපය සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් බවද මෙහිදී ප්‍රකාශ වී ඇත.
 
සබැඳි පුවත් :

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top