nsb
Sathosa

සමරිසියන්ට සමනළුන් යැයි කීම සිරිසේනගේ පුද්ගලික අවුලක්... සමරිසියන්ට සමනළුන් යැයි කීම සිරිසේනගේ පුද්ගලික අවුලක්...
Nov 08, 2018

ජනපතිගේ ‘සමනළ කතාව‘ට එරෙහිව සමරිසි ප්‍රජාව පෙළ ගැසෙති Featured

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය නොවැම්බර් 5 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ‘සමනළ‘ යන යෙදුම භාවිතා කරමින් අපහාසාත්මක ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකළ හැසිරීම හෙළා දකිමින් සහ ඒ පිළිබඳ සිය ස්ථාවරය පළ කිරීම සඳහා සමරිසි ප්‍රජා සාමාජිකයන් සහ ක්‍රියාධරයන් විසින් මාධ්‍ය හමුවක් ඊයේ (07) කැඳවා තිබිණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමරිසි භීතිකාව ප්‍රකට කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරදාස් ත්‍යාගරාජා, නීතිවේදී හා සහපෙති කුසුම චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රෙස්කරන්, නීතීඥ සහ මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න සහ ප්‍රජා ක්‍රියාධර ඊබ්‍රාහිම් ෂඩ්රච් යන අය එක්ව සිටියහ.

ජනපති සමාව ගත යුතුයි !

BUTE1එහිදී අදහස් දැක්වූ වරදාස් ත්‍යාගරාජා කියා සිටියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් LGBTQI+ ප්‍රජාවගෙන් සමාව අයැද සිටිය යුතු බවයි. එසේම මෙම ප්‍රකාශයෙන් පසු LGBTQI+ ප්‍රජා සාමාජිකයෙකු හට යම්කිසි අගතියක් සිදු වුවහොත්, එහි වගකීම ජනපතිවරයා විසින් ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

‘‘මෙම ප්‍රකාශය නිසා බරපතළම හානිය සිද්ධ වෙන්නේ ගමේ දුප්පත් අම්මලා තාත්තලාගේ සමරිසි දරුවන්ට. මේක ප්‍රභූ සුළුතරක් ඉලක්ක කරගෙන කළා වෙන්න පුළුවන් වුණත් මේකෙ බලපෑම වැඩිපුරම දැනෙන්නෙ රටේ පහළම පන්තියක ජනතාවට..

රටේ ජනාධිපතිවරයා විසින් මේ ප්‍රජාව හිංසාකාරී ලෙස හෙළා දැකීම මගින් ඒ දරුවන් පවුල්වලින් කොන් වීමටත්, අසල්වැසියන්ගෙන් කොන් වීමටත්, රැකියාවලින් දොට්ට දැමීමටත්, සූරා කෑමටත්, පොලිසිය වැනි රජයේ ආයතනවල හිංසාවට ලක්වීමටත් ඔවුන්ට සිදු වෙනවා විතරක් නෙවෙයි, එවැනි හිංසන ක්‍රියා තවදුරටත් යුක්තියුක්ත කිරීමේ ප්‍රකාශයක් විදිහටත් අපි මෙය දකිනවා“ යනුවෙන් ද වරදාස් එහිදී ප්‍රකාශ කළේය.

‘‘මෙය සැහැල්ලුවෙන් ගත යුතු ගැටළුවක් නෙවෙයි. ජනාධිපතිවරයා ‘සමනළ ජීවිතය‘ යන යෙදුම භාවිතා කළේ හිතාමතාම, LGBTQI+ ප්‍රජාවට නින්දා කිරීමේ අරමුණින්. ජනපති සිරිසේන සහ රැස්ව සිටි පිරිසට මෙය හිනාවට කාරණයක් වුණත් එය ශ්‍රී ලංකාවේ සමස්ත LGBTQI+ ප්‍රජාවටම එල්ල වූ දැවැන්ත ප්‍රහාරයක්‘‘ යැයි ද ඔහු එහිදී කියා සිටියේය.

 උගන්ඩාවේ මුසවේනි

 ‘‘ජනපතිවරයා LGBTQI+ ප්‍රජාව අවසැලකීමට ලක් කළ ප්‍රථම වතාව මෙය නොවෙයි. LGBTQI+ ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කළ යෝජනාවක් ඔහු විසින් ඉවත් කළා විතරක් නෙවෙයි, එසේ ඉවත් කළ බව ඔහු බොහොම ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කර සිටියා.. “ යැයි ද ඔහු කියා සිටියේය.

‘‘මෙවැනි නායකයන් ලෝකයේ සිටින්නේ කිහිප දෙනයි. එක්කෙනෙක් අපේ ජනාධිපතිවරයා. අනෙක් කෙනා උගන්ඩාවේ මුසවේනි‘‘ යැයි ද ඔහු කියා සිටියේය.

‘‘මෙය හුදෙක් ඕපපාතිකව පහළ වූ ප්‍රකාශයක් නෙවෙයි. දැනට අටවාගෙන තිබෙන ආණ්ඩුවේ සමරිසි භීතිකාවේ දේශපාලන ප්‍රකාශනයක් විදිහට අපි මේක බාරගත යුතුයි.. එනිසා මේක හුදෙක් එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් විතරක් ඉලක්ක කරගෙන කළා කියල අපිට බාරගන්න බෑ. මේකෙ බලපෑම ඒ තරමටම පුළුල්ව පැතිරෙනවා. මේ ප්‍රකාශය රාජ්‍ය නායකයෙකුට තරම් නැහැ“

‘‘එනිසා ඉදිරියේදී සමරිසි ප්‍රජාවට එල්ල වන සියලුම තාඩන පීඩන සම්බන්ධයෙන් එතුමා වගකීම ගත යුතුයි“ යනුවෙන් ද වරදාස් ත්‍යාගරාජා එහිදී ප්‍රකාශ කළේය.

 ''යහපාලන න්‍යායපත්‍රය සම්පූර්ණයෙන්ම ඉරල දාලා''

‘‘රටේ දැනට උද්ගත වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී උභතෝකෝටිකය එනම් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයෙක් ලෙස පත් කිරීමත්, පාර්ලිමේන්තුව කල් තැබීමත් කියන කාරණා අඛණ්ඩ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් විදිහට පැවතගෙන ආ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය මහින්ද රාජපක්ෂ මහතා 18 වන සංශෝධනයෙන් හැරවූයේ මොන මාවතකටද, ඒ හා සමානම ආපස්සට හැරවුමක් අද වනවිට සිරිසේන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සංශෝධනයක්වත් නොකර සිදුකර තිබෙනවා.

මේක කොච්චර බරපතළද කිව්වොත්, සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කළ යහපාලන න්‍යායපත්‍රය සම්පූර්ණයෙන්ම ඉරල දාලා, ඒ න්‍යායපත්‍රය ගෙනාවේ කාට විරුද්ධවද, ඔහුවම දේශපාලන බලයේ පිහිටුවීම මගින් අද ඔහු ජනාධිපතිවරයෙකු වශයෙන් ඉල්ලා අස්විය යුතු මොහොතක් උදා කරගෙන තිබෙනවා“ යැයි ද ත්‍යාගරාජා වරදාස් මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු කියා සිටියේ සමරිසි ප්‍රජාවට දේශපාලනයේ නිරත වීමට ඇති අයිතියට ගරු කරන ලෙසයි.

ජනපතිගේ භාෂාව හරියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ!

Ibrahamප්‍රජා ක්‍රියාකාරී ඊබ්‍රහිම් ෂඩ්රච් මෙසේ කියා සිටියේය.

‘‘මගේ වැඩිම සැලකිල්ලට ලක් වන කාරණය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අතීතයේ විශේෂයෙන්ම යුද සමයේත් පශ්චාත් යුධ සමයේත් උතුරු නැගෙනහිර හොමොෆෝබියාව වෙනුවෙන් යොදාගත්තා. මා විශ්වාස කරනවා, ජනාධිපති විසින් සමරිසි භීතිකාවෙන් යුතුව යොදාගත් භාෂාව සාමාන්‍යකරණය වූ විට, අපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්‍ය වෙන්නේ නැති තරම්! මේ නිසා අපේ ආරක්ෂාව දරුණු ලෙස අඩු වෙයි. එය අපේ ප්‍රජා සාමාජිකයන්ට අතිශයින් හානිකර වේවි..“

LGBT අය පන්නාගෙන ගිහින් මරා දමන තත්වයක් :

දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ෆ්‍රැන්ජිපානි හෙවත් සයපෙති කුසුම චිත්‍රපටයේ අධ්‍යක්ෂ, නීතිවේදී විසාකේස චන්ද්‍රෙස්කරන් මෙසේ පැවසීය.visakesa

‘‘මම වැඩකරනවා. මම උපයනවා. මම මේ ආර්ථිකයට දායක වෙනවා. ඒ වගේම මම බදු ගෙවනවා. මම ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ නිසා මට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි... ජනාධිපතිගේ ගැටළුකාරී ප්‍රකාශයේ කාරණා දෙකක් තිබෙනවා.

එකක්, ජනාධිපති අගමැතිවරයාගේ දේශපාලන නොහැකියාවක් සහ ඔහුගේ තිබෙන බව කියන ලිංගික දිශානතිය අතර සම්බන්ධයක් ගොඩ නගනවා.

දෙවැනුව, ජනපති මේ ප්‍රකාශය සිදුකර, යම්කිසි ආකාරයකින් ඔහු ඉදිරියේ සිටින ප්‍රේක්ෂකයන්ව ‍ධෛර්යමත් කරනවා, එයට සහයෝගය පළ කරන ලෙසට.

මේක ඉතාම භයානක තත්වයක්. මොකද, මේ ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට ඉතා භයානක පණිවුඩයක් ලබාදෙනවා. ඒ තමයි, සමරිසි පුද්ගලයන්ට මේ රටේ ඕනෙම දෙයක් කියන්න පුළුවන්. ඒ ඕනෙම දෙයක් කිව්වට පස්සෙ ඔවුන්ට ඒකෙ ප්‍රතිවිපාක විඳින්නෙ නැතුව ඉන්න පුළුවන් කියන පණිවුඩය.

''මේ හරහා සමරිසි භීතිකාව මුල් කරගත් ප්‍රචණ්ඩත්වයකට ඔහු ඉඩ ලබාදෙනවා...''

‘‘අපි දැක තිබෙනවා, රුසියාව වගේ ලෝකයේ සෙසු රටවල මෙවැනි ප්‍රචණ්ඩත්වයන් ආරම්භ වන්නේ දේශපාලකයන් විසින් සිදුකරන මෙවැනි ප්‍රකාශ මගින්. මේ වන විට රුසියාවේ පොලිසිය LGBT තැනැත්තන් පසුපස එළවා යමින් ඔවුන් ඝාතනය කරන තත්වයට පත් වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන ඇමරිකාවේ පවා ට්‍රම්ප් වැනි දේශපාලනඥයන් විසින් කරන ලද මේ වගේ ප්‍රකාශ හේතුවෙන් දියුණු නගරවලින් ඈත පිටිසර පළාත්වල ජනතාව ජීවත් වන්නේ භීතියෙන්. සමරිසි පුද්ගලයන්ට මේ වගේ දේවල්වල ප්‍රතිඵල විඳින්නට සිද්ධ වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සිදුවීමට අපට අවශ්‍ය නැහැ.

 ''රනිල් සමරිසි ප්‍රජාව වෙනුවෙන් කිසිවක් කළේ නැහැ''

 ගැටළුව වන්නේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳවත් අපට විශාල ගැටළුවක් තිබෙනවා. ඔහු LGBT ප්‍රජාව වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. නමුත් මගේ තර්කය වන්නේ ඔහුගේ දේශපාලනමය නුසුදුසු කමක් තිබේ නම් එය, ඔහුගේ ලිංගික දිශානතිය සමග බද්ධ කළ යුතු නැහැ. දේශපාලන හැකියාවක් හෝ නොහැකියාවක් සමරිසි බව මත පදනම් වෙනවා කියන්න කිසිම පදනමක් හෝ සාක්ෂියක් නැහැ.

අංක 2, යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ලිංගික ජීවිතය පුද්ගලික තොරතුරක් ලෙස තබාගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලිකත්වයේ අයිතියට අපි ගරු කළ යුතුයි. ඒක හාරා ඇවිස්සීමෙන් වැළකිය යුතුයි.

අපේ අගමැතිවරයාගේ ලිංගික දිශානතිය සනාථ කිරීම සඳහා කිසිම සාධකයක් පුද්ගලිකව මා සතුව නැහැ. ඔහු එය පුද්ගලික කාරණයක් සේ තබාගැනීමට තීරණය කර තිබෙනවා. එය ඔහුගේ පුද්ගලික ජීවිතය. එය පුද්ගලිකව තබාගැනීමට ඔහුට අයිතියක් තිබෙනවා.

 ''සමානාත්මතාවය ලබාදීමේ අනුපිළිවෙළක් නැහැ''

 සමරිසි වැසියන් මේ රටේ වැසියන්. ඔවුන් මේ රටේ සමාන අයිතිවාසිකම් ලැබිය යුතු පුරවැසියන්. ඔවුන්ට එරෙහිව හිංසාකාරී ප්‍රකාශ සිදු නොවිය යුතුයි. යම්කිසි ආගමික කොටසකට, යම්කිසි වාර්ගික කොටසකට, යම්කිසි හැකියාවන් හෝ නොහැකියාවන් ඇති මානසික රෝගීන් හෝ අනෙකුත් ආකාරයේ ආබාධ තිබෙන අයට එරෙහිව හෝ කිසිම ආකාරයකින් මෙවැනි ප්‍රකාශයක් සිදු නොවිය යුතුයි.

අපි සමානාත්මතාවය ඉල්ලනවා නම් අනෙකුත් ආකාරවල සමානාත්මතාවයන් ඉල්ලන පිරිස් එකතු විය යුතුයි. සමානාත්මතාවය ඉල්ලා සිටින විට එහි ධූරාවලියක් නැහැ. මුලින්ම සමානාත්මතාවය දෙමළුන්ට දිය යුතුයි, ඊළඟට සමානාත්මතාවය ඉස්ලාම් අයට දිය යුතුයි, ඉන්පසු සමානාත්මතාවය හිංසාවන්ට ලක් වන කාන්තාවන්ට දිය යුතුයි, ඊට පස්සෙ සමානාත්මතාවය නොයෙකුත් ආබාධ තිබෙන අයට දිය යුතුයි, අන්තිමට අපි සමානාත්මතාවය සමරිසි අයට දිය යුතුයි යනාදී වශයෙන් ලෝකයේ සමානාත්මතාවය ලබාදෙන ධූරාවලියක් නැහැ.

සමානාත්මතාවය කියන්නේ සමානාත්මතාවය. හැම කෙනෙකුටම සමාන මට්ටමකින් සමානාත්මතාවය හිමිවිය යුතුයි.“ යැයි විසාකේස එහිදී අවධාරණයෙන් කියා සිටියේය.

''හදිසියේ සිදුවුණු පෙරළියක් නොවේ''

Radikaමීළඟට අදහස් දැක්වීමට එක් වූයේ නීතීඥවරියක්, මානව හිමිකම් ක්‍රියාධාරිනියක් සහ මාධ්‍යවේදිනියක වන රදිකා ගුණරත්න ය.

‘‘සංක්‍රාන්ති ලිංගිකයෙක් වන නිලූකා ඒකනායක දළදාව වැඩ සිටින මහනුවර, එහෙමත් නැතිනම් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කළ මෛත්‍රිපාල සිරිසේන මහතාම අවසානයේ සමනළුන් ගැන කතා කරනවා. අනෙකාගේ ලිංගික දිශානතිය හෝ පුද්ගලික අවකාශය ප්‍රසිද්ධ වේදිකාවේදී දරුණු විදිහට ප්‍රශ්න කර සිටිනවා. මේක අහම්බයක්, එහෙමත් නැතිනම් හදිසියේ සිදුවුණු පෙරළියක් විදිහට අපි දකින්නේ නැහැ.

 යා දෙක නොරත රත - සමග පෑහීමක් ද නැත

 මොකද 2015 අවුරුද්දෙදි අපි සිරිසේන මහතාව තෝරාපත්කර ගත්තේ අපිට වෙන විකල්පයක් තිබුණෙ නැති නිසයි. අපිට කිසිම අදහසක් තිබුණෙ නැහැ ඔහුගේ ධාරිතාවය හෝ හැකියාව ගැන. පහුගිය සති කිහිපය පුරාම අපි අත්වින්දෙ, විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය කරමින් ඔහු විසින් මුදා හැරියෙ නොගැළපෙන අයව එකතු කිරීම නිසා ඔහු ලක්වුණු පීඩනයයි.

ඒ නිසා නොගැළපෙන අයට එකට ජීවත් වීමට බල කිරීම නිසා ඇතිවන පීඩනය සමරිසියන්ට විෂම ලිංගිකයන් සේ හැසිරීමට බල කිරීමේ තිබෙන පීඩනය අතර යම්කිසි සම්බන්ධයක් මේ මොහොතේ ඔහුට පෙනී යා යුතුයි. ඒ නිසා සමරිසියන්ගේ ජීවන අයිතිය සහ ඊනියා සංස්කෘතික රාමුවක් තුළ ඔවුන්ට ජීවත් වීමට බල කිරීම සඳහා දේශපාලන නායකයන්ට ඇති අයිතිය මේ මොහොතේ විශාල වශයෙන් ප්‍රශ්නගත වෙනවා.

නමුත් ඒ එක්කම, අනෙක් පාර්ශවය සමග වැඩ කිරීමට එතුමාට තිබෙන නොහැකියාව, එතුමාගේ වැරැද්දක්ද, නැතිනම් අනෙක් පාර්ශවයේ වැරැද්දක්ද කියන ප්‍රශ්නයත් ඒ සමගම මතු වෙනවා.

 ''මේක ගැමියෙක් වීමේ ප්‍රශ්නයක් නෙවෙයි - සාධාරණ මනුෂ්‍යයෙක් වීමට නොහැකියාව ගැන ප්‍රශ්නයක්'

 දූපතක් වන ලංකාවේ බොහෝ අයට පුළුල් විදිහට හිතන්න බැහැ. එතුමාගේ මානව විරෝධී ප්‍රකාශයෙන් ප්‍රකට වන හෝමෝෆෝබියාව එහෙමත් නැතිනම් සමරිසි භීතිකාව ඔහු ගැමියෙක් වීම නිසාවත්, ඔහුගේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නිසාවත් ඇති වන දෙයක් නෙවෙයි.

යහපත් මනුෂ්‍යෙයක් නම්, බුද්ධිමත් නම්, මේක ප්‍රශ්නයක් නම් අනෙකා වෙලා මේ ප්‍රශ්නය තේරුම් ගන්නට පුළුවන් නම් මේ කියන කාරණය අඳුන ගන්නට වෙනත් දේවල් අවශ්‍ය වන්නේ නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් ඔහු තුළ තිබෙන නොගැළපීමක් හෝ නොහැකියාවක් විදිහට තමයි, අපි මේක හඳුනාගන්නෙ.

 අවුල තියෙන්නෙ කැඩපතේ නෙවෙයි!

මේක සරල උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඔබ කැඩපතක් ඉදිරියට දෙසැරයක් යනවා. ඔබට තමන්ව කැතට පේනවා. ඔබ තවත් වරක් කැඩපත ඉදිරියට යනවා. ඔබව නැවතත් කැතට පේනවා. හතරවැනි වතාවටත් ඔබට තමන්ව ඒ විදිහට කැතට පේනවා නම්, තේරුම් ගන්නට ඕනෙ, අවුල තියෙන්නෙ කැඩපතේ නෙවෙයි, තමන් තුළ කියලා!

තමන් තුළ තිබෙන අවුලක් නිසා, මේ කාරණය තේරුම් ගන්නට හැකියාවක් නැති කමක් නිසා ඇති වී තිබෙන තමන්ගේ පුද්ගලික අවුලක්, අවසානයේ ජාතික ප්‍රශ්නයක් බවට පත් කිරීම අපි මෙහිදී දකිනවා. චිත්තවේගී මිනිසෙකුගේ චිත්තවේගී කැළැල්වලට අවසානයේ වන්දි ගෙවන්නේ ඔහු නෙවෙයි, ඒ වෙනුවට මුළු රටක් ජාතියක් මේ වෙනුවෙන් වන්දි ගෙවමින් සිටිනවා.

 ''බටහිර කුමන්ත්‍රණයක් තුළම හිරවෙලා''

 සමරිසි අයිතිවාසිකම් ප්‍රතිගාමී ලෙස දකින ලෝකයේ දේශපාලන බල කඳවුරු මානව හිමිකම් පවා බටහිර ප්‍රවේශයකින් දකින අතරවාරයේම, මේ මොහොතේ සිරිසේන ඇතුළු පිරිසත් නතුවෙලා ඉන්නෙ බටහිර යුරෝපය පුරා රැල්ලක් විදිහට පැතිරිලා යන ආරක්ෂණවාදය වෙතයි.

නමුත් මේ ආරක්ෂණවාදය ට්‍රම්ප්ගේ පටන් බ්‍රසීලයේ බොල්සොනාරෝ දක්වා රැල්ලක් විදිහට ව්‍යාප්ත වෙද්දි, මේ රැල්ලට හසු නොවෙන සවිමත් ඉවුරක තවත් මිනිසුන් පිරිසක් හිටගෙන ඉන්නවා. ඔවුන් මනුෂ්‍යත්වය වෙනුවෙන් කතාකරන, ඒ වෙනුවෙන් හඬ නගන අයයි. අද වන විට ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අපට පෙන්වා දෙනවා, බුද්ධියක් තිබෙන-හදවතක් තිබෙන ඒ මිනිසුන් හිටගෙන ඉන්නේ අර කියන රැල්ලෙන් සෝදා යන ඉවුරක නොවන බව.

ලංකාවේ ලියෝ වරද්කාර්

තමන්ගේ ලිංගික අනන්‍යතාවය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ මැක්රොන්ට නැති පිට කොන්දක් අයර්ලන්තයේ ලියෝ වරද්කාර්ට තිබුණා.

කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වෙන එක හොඳයි කියන්න තරම් පිටකොන්දක් තිබෙන ලියෝ වරද්කාර් කෙනෙක් ලංකාවෙත් ඉන්නවා.

හැබැයි මේ කිළිටි දේශපාලන තන්ත්‍රය ඇතුළෙ සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් දෙයක් කරන්නට ඔහුට ඉඩක් ලැබුණාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.

 මුව හමට තඩිබෑම නතර කරන්න !

අපි නැවත ගල් යුගය වෙත යා යුතු නැහැ. ඉන්දියාවේ සමරිසිභාවය සාපරාධී නොවන බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගැන අපි කතා කරන විට ලංකාවෙත් එහෙම වෙන්න යනවද කියල විශාල ප්‍රශ්නයක් අන්තවාදී පිලට තිබුණා. නමුත් මේ හැම දේටම කලින්, මේ මුවහමට තඩිබෑම නතර කරන්න..“ යැයි ද නීතීඥ රදිකා ගුණරත්න එහිදී කියා සිටියාය.

මෑත කාලීන ඉතිහාසය තුළ ලංකාවේ සමරිසි ප්‍රජාව සහ එහි ක්‍රියාකාරීන් විසින් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පළමු අවස්ථාව ලෙසට මෙය ඉතිහාසගත වේ.

(ලංකා නිව්ස් වෙබ්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top