nsb
Sathosa

Nov 08, 2018

ගුවන්තොටේ වැසිකිළිය කාර්යාලයක් කෙරූ රේගු නිලධාරියා රිමාන්ඩ්

රේගු නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ගුවන්තොටුපොළ පරශ්‍රයේ ව්‍යාජ රන් බිස්‌කට්‌ ජාවාරමක යෙදුණු පුද්ගලයෙකු මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන්තොටුපළේ වැසිකිළියක්‌ තම මූලස්‌ථානය කොට ගනිමින් මෙම ජාවාරමේ යෙදී රුපියල් කෝටි ගණන් ඉපැයූ බව කියන සැකකරු ගුවන්තොටුපළ කුලී රථ රියෑදුරකි.

කටුනායක ගුවන්තොටුපළ තුළ රැඳෙමින් ව්‍යාජ ලෝහයෙන් තැනූ ව්‍යාජ රන් බිස්‌කට්‌ අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක්‌ පිළිබඳව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මෙහි පැමිණිලිකරුට කාන්තාවක්‌ විසින් පවසා ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ අඩු මිලට රන් බිස්‌කට්‌ රේගු නිලධාරියකු විසින් අලෙවි කරනු ලබන බවයි. ඒ අනුව වෙද මහතා මෙම ජාවාරම පිළිබඳව මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දී ඇත.

පසුව පොලිස්‌ පරීක්‍ෂකවරයෙක් රන් බිස්‌කට්‌ මිලදී ගැනීමට පැමිණෙන අයකු ලෙස වෙස්‌වලා ගුවන්තොටුපළට ගොස්‌ ඇත. එහිදී පොලිස්‌ පරීක්‍ෂකවරයාට උපදෙස්‌ දී ඇත්තේ ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේ තිබෙන වැසිකිළියක්‌ තුළට යන ලෙසටය. ඉන් සුළු මොහොතකට පසු රේගු නිලධාරියකු ලෙස හැසිරුණු අයකු වැසිකිළිය තුළට පැමිණ ව්‍යාජ රන් බිස්‌කට්‌ එක ඉදිරිපත් කර ඔහුගේ ලක්‍ෂ 5 ක මුදල ඉල්ලා ඇත. පොලිස්‌ පරීක්‍ෂකවරයාට ව්‍යාජ රන් බිස්‌කට්‌ ලබාදී ඔහුගෙන් මුදල් (ලක්‍ෂ 5) ලබාගන්නා අවස්‌ථාවේ ව්‍යාජ රේගු නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුවේ පදිංචි මොහිදීන් මොහොමඩ් හුසේන් (52) නමැත්තෙකි. මෙම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන අරඹා ඇත.

මෙම වැටලීම මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරාළ මහතාගේ අධීක්‍ෂණය මත මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා මෙහෙය විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top