nsb
Sathosa

'සමනල කතාව'ට සමාව ගන්නයි ජනපතිට බලපෑම් ..... 'සමනල කතාව'ට සමාව ගන්නයි ජනපතිට බලපෑම් .....
Nov 09, 2018

ජනාධිපති මෛත්‍රීට 'හෝමොෆෝබියා' ! Featured

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පැහැදිලිවම සමලිංගික භීතිකාවෙන් (හෝමොෆෝබික්) පෙලෙන පුද්ගලයෙක් බව සමරිසි ප්‍රජාවේ සහ ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මතය වී ඇත. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කල ප්‍රකාශයක් හේතුවෙනි.

"සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ජනතාවගේ සිතුම් පැතුම් ඔහුට අමතක වුනා. රටේ ප්‍රශ්න ඔහුට අමතක වුනා. ඔහු සමනල ජීවිතයකට ඇතුළු වුනා."

ඉහත දැක්වෙන්නේ පසුගිය සඳුදා (නොවැ 05) කොළඹ පැවති ජනරැලියක් අමතමින් රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළ එම ප්‍රකාශයයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ඉහත කී ප්‍රකාශය සමරිසි ප්‍රජාවේ සහ සිවිල් සමාජයේ ඇතැම් කොටස් අතර බරපතල විවේචනයට ලක්ව ඇත.

සමනලයා ගැන විග්‍රහය:

මේ අතර බදාදා (නොවැ 07) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ කැබිනට් සම ප්‍රකාශක මහින්ද සමරසිංහ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය "කිසිදු ලිංගික ජනකොටසක් පදනම් කරගනිමින් කළ ප්‍රකාශයක් නොවන" බවය.

"සමනලයා කියන්නෙ අහිංසක සතෙක්. ඒ සමනලයාව වැරදි විදියට පාචිච්චි කරල තියෙන්නෙ," කැබිනට් සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල එහිදී පළ කළේ එබඳු අදහසකි.

 104225617 eb6b85ae 8017 4e39 a702 b7e16323d420 2017 'කලම්බෝ ප්‍රයිඩ්' සමරිසි පාගමනේ ගත් ඡායාරූපයක්

විෂම ලිංගික (Heterosexual) නොවන පුද්ගලයෙකු හැඳින්වීම සඳහා ඇතැම් පුද්ගලයන් විසින් "සමනලා" යන වචනය යොදා ගනු ලැබේ.

කැබිනට් සම ප්‍රකාශකවරුන්ගේ විග්‍රහය බැහැර කරන සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත්තේ විෂම ලිංගික නොවන පුද්ගලයෙකු හැඳින්වීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයා අදාළ රැලියේදී 'සමනල' යන වචනය භාවිත කර ඇති බවය.

සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින, කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකුවන ත්‍යාගරාජා වරදාස් කියා සිටියේ ජනාධිපතිවරයා පළ කළ අදහස සමරිසි ප්‍රජාවට එරෙහිව කළ "වෛරී ප්‍රකාශයක්" ලෙස හැඳින්විය හැකි බවය.

"සමනලයා කියන වචනේ අරුත් කීපයක් තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා එය යොදා ගත්තේ විෂම ලිංගික නොවන පිරිසක් යන්න ඇඟවීම සඳහා. මෙය වෛරී ප්‍රකාශ ගණයට අයත් වෙන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

 ''හානිය වෙන්නේ ගමේ, දුෂ්කර පළාත්වල ඉන්න සමරිසි ප්‍රජාවට''

 ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මගින් "ගහපියව්, කොටපියව්, මරපියව්" වැනි වෛරී ප්‍රකාශ ස්ථානගත වීම සඳහා අවශ්‍ය දෘෂ්ඨිවාදීමය පසුබිම සැකසීම ඔහු ඒ සඳහා හේතු වශයෙන් පෙන්වා දෙයි.

යම් කිසි "ප්‍රභූ සංවෘත්තයක්" තුළ බලය ගොනු වී ඇති බවක් ජනාධිපතිවරයා ඉන් අදහස් කළේ යයි උපකල්පනය කළ ද අදාළ ප්‍රකාශය මගින් එම "සංවෘත්තයට" හානියක් සිදු නොවන බව ත්‍යාගරාජා වරදාස්ගේ අදහසය.

"හානිය වෙන්නේ ගමේ, දුෂ්කර පළාත්වල ඉන්න සමරිසි ප්‍රජාවට. මොකද මේ වගේ වෛරී ප්‍රකාශවල අන්තිම ඵලය භුක්ති විඳින්නේ මේ ප්‍රජාව. ගමේ ඉන්න දුප්පත් ප්‍රජාව හා සැසඳීමේදී කොළඹ හතේ ඉන්න ප්‍රජාවට මේ නිසා දෛනික ජීවිතයේ ගැටලු ඇතිවෙන්නේ නැහැ."

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මධ්‍යම පාන්තික ජනතාව අතර සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් පවතින මතය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පිළිබිඹු වන බව කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් පවසයි.

"සමරිසි අයිතීන් පිළිගන්නා සමාජයක් ලංකාවේ තිබුනා නම් ජනාධිපතිතුමන්ට ඔතන සමනල කියන වචනය වෙනුවවට 'ප්‍රභූ රෑන' කියලා පාවිච්චි කරන්න තිබ්බනේ," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

"ඒක නොදා අරක දාන්නේ ඒ ප්‍රජාව සම්පූර්ණයෙන් පහතට වට්ටලා පහත් ප්‍රජාවක්ය කියන වචනය සමාජගත කිරීම එතුමත් තහවුරු කරන නිසානේ, වෙන වචන නැද්ද ඕකට දාන්න."

 පළමු අවස්ථාව මෙය නොවේ ..

 ජනාධිපතිවරයා විසින් සමරිසි අයිතීන් පිළිබඳ "පසුගාමී අදහස්" පළ කරන ලද පළමු අවස්ථාව මෙය නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

සමරිසි ප්‍රජාවට කෙරෙන වෙනස් ලෙස සැලකීම් ඉවත් කළ යුතු බවට 2016 වසරේ මානවහිමිකම් ක්‍රියාකාරී ජාතික සැලැස්මේ අඩංගු වූ කැබිනට් යෝජනාව ඉවත් කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කළ බව කී ත්‍යාගරාජා වරදාස්, "එතුමා එහිදී ආඩම්බරයෙන් කිව්වා මම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කළා කියලා," යනුවෙන් පැවසීය.

" ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පැහැදිලිවම සමලිංගික භීතිකාවෙන් (හෝමොෆෝබික්) පෙලෙන පුද්ගලයෙක්."

එසේ නොමැති නම් ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ඔහුගේ අදහසය.

 ලෝකයේ පවතින නීති වෙනස් කරමින් :

 104225988 b5a7c154 2000 424e b2f7 f05a2344d81fඉන්දියාවේ පැවති සමරිසි පාගමනක්

 

 ලොව ඇතැම් රටවල් සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට කටයුතු කර තිබෙන අතර ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ නීතිගත කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බව තායිවානයේ ඉහළම අධිකරණය 2017 වසරේදී තීන්දු කළේය.

 ශ්‍රී ලංකාවේ සමකාමීත්වය සම්බන්ධයෙන් පවතින නීතිය

 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් මීට වසර 130 කට පමණ ඉහත දී හඳුන්වා දෙනු ලැබූ දණ්ඩ නීති සංග්‍රහයේ

# 365 (A) සහ 365 යන වගන්ති

ඉහත කී වගන්ති මගින් සමකාමී හැසිරීම් සාපරාධී ක්‍රියා යටතට ගෙන සමරිසි ප්‍රජාව අපරාධකරුවන් බවට පත් කර ඇතැයි සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන නීතිඥ රදිකා ගුණරත්න පවසයි.

"මේ වගන්ති දෙක තුළ සමලිංගික හෝ සමරිසි කියන වචන සඳහන් වෙන්නේ නැහැ. සොබාදහමට එරෙහි අස්වාභාවික ලිංගික හැසිරීමක් කියා තමයි එහි තියෙන්නේ," ඇය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

පසුකාලීනව 1995 දී කරන ලද නීතිමය සංශෝධන මගින් "පුරුෂයන් අතර සිදුවන සොබාදහමට එරෙහි ලිංගික හැසිරීම්" යන්නට කාන්තාවන් ද එක් කළ බව ඇය පෙන්වා දෙයි.

"එතකොට ලංකාවේ නීතියට අනුව මේක අපරාධමය වරදක්. ලංකාව තුළ ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව (Gender Identification) සහ ලිංගික දිශානතිය (Gender Orientation) කියා ගන්න බැහැ. ඔවුන්ට සමාජය ඉදිරියට එන්න බැහැ මොකද මේක අපරාධයක් නිසා. අඩුම තරමේ තමන්ගේ ගෙදර අයටවත් කියා ගන්න බැහැ මොකද මේක නීති විරෝධියි."

 බරපතළම තත්ත්වය මෙන්න :

 ඇය පවසන පරිදි එහි තිබෙන බරපතළම තත්ත්වය නම් බලහත්කාරකමකට හෝ දූෂණයකට ලක් වූ සමරිසි පුද්ගලයෙකු නීතියේ සරණ පැතීමට යාමේදීම ඔහු හෝ ඇය පවත්නා නීතියට අනුව අපරාධකරුවෙකු වී තිබීමය.

සමාජය විසින් පනවන ලද නීතිමය සහ සංස්කෘතික රාමුවෙන් බැහැරව කටයුතු කරන විට සමකාමී කාන්තාවකට හෝ පුරුෂයෙකුට තාඩන පීඩනවලට මුහුණ පෑමට සිදුවන බව ද නීතිඥ රදිකා ගුණරත්න පෙන්වා දෙයි.

"පැමිණිලි කරන පුද්ගලයා එතනදී අපරාධකරුවෙක්. තමන්ට වෙච්ච හිරිහැරයක් ගැන පැමිණිලි කරන්න ගිය විට පොලිසිය බොහෝ විට වැඩකරන්නේ අනෙක්පැත්තට. එතන ඉඳලම ඔහු හෝ ඇය අසරණ වෙනවා," ඇය පවසන්නීය.

"නීතිය ක්‍රියාත්මක වෙන්නෙම සමරිසි ප්‍රජාවට හිරිහැර කිරීම සඳහා, නැතිව ඔවුන්ට යුක්තිය ඉටු කිරීම සඳහා නොවෙයි."

(උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top