Nov 10, 2018

'මැතිවරණය කැඳවීම නීති විරෝධියි' - මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ! Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව සහ නීති විරෝධීව වන බැවින් මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රතික්ෂේප කර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුව ඇතැයි නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු කාලය වසර හතර හමාරක් ඉකුත් වූ පසුව බව අවධාරණය කර සිටි ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුණ මහතා, මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ නීති විරෝධී පියවර සාධාරණය කිරීමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා විසින් සිදුකරන මෙම මැතිවරණ ක්‍රියාදාමය ද මුළුමනින්ම නීති විරෝධි බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ වන විට නිකුත් කරනු ලැබ ඇති ගැසට් පත්‍රයට අනුව 2019 ජනවාරි 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත්, 2018 නොවැම්බර් 19 සිට 26 දක්වා නාමයෝජනා භාර ගැනීමටත් දින නියමකර ඇත.

19 සංශෝධනයට බලපෑ අභිලාෂය ?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකුල බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා එම කාරණය තවදුරටත් මෙසේ විග්‍රහ කළේය.

''ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක් ආශ්‍රයෙන් නම්, එම සංශෝධනය කිරීමට මත්තෙන් ඊට අදාලව ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන සලකා බැලිය යුතුය. සංශෝධනය ගෙන ඒමට බලපෑ අභිලාෂය සැලකිල්ලට ගත යුතුය.

සංශෝධනය ගෙන එන ලද්දේ, මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවක් ප්‍රකාරව නම්, එම මැතිවරණයේ පසුබිම සැලකිල්ලට ගත යුතුය. ව්‍යවස්ථාමය විධිවිධාන, හුදෙකලාව ගෙන, රික්තයක බහා කියැවිය නොහැකිය.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top