Nov 10, 2018

මැතිසබය විසුරුවන්න බලපෑ ආසන්න ම කාරණය මෙන්න Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑ ආසන්නතම කාරණය රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් ලබාදුන් රහස්‍ය වාර්තාවක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුව කැඳවූ වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඡන්දය වර්ජනය කර මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමේ සුදානමක් පවතින බවත්, අද (10) පෙරවරුවේ ශ්‍රීලනිප නියෝජනය කරන තවත් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සිය ඇමති ධුරවලින් ඉවත්වීමට නියමිත බවත් එම බුද්ධි වාර්තා මගින් අනාවරණය කර තිබී ඇතැයි පැවසේ.

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

එසේම, මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාස භංගයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට එජාපයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලනිපයේ කිහිප දෙනෙකු සමග සාකච්ජා කර ඇති බවත් මේවනවිටත් ඊට අදාල ලියකියවිලි කෙටුම්පත් කරමින් සිටින බවත් එම බුද්ධි අංශ වාර්තා මගින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබු බව ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාපයේ ප්‍රබලයකුගේ නියෝජිතයකු ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට තමා හමුවට පැමිණි බව බැසිල් රාජපක්ෂ මහතා ද මිට දින කිහිපයකට ජනාධිපතිවරයාට පවසා තිබු බව වාර්තාවේ.

ශ්‍රීලනිප කණ්ඩායම හා මහින්ද හමුව :

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑ තවත් කාරණයක්වී ඇත්තේ ඔහු විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිට හිතවත්ව සිටි දුමින්ද - අමරවීර කණ්ඩායමේ සහය ලබා ගැනීමට දැරූ උත්සාහයට යහපත් ප්‍රතිචාරයක් නොලැබීමයි.

පෙරේදා (08) රාත්‍රී අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පැවැති බව සඳහන් එම හමුවට මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගී සිටි බවත්, සරත් අමුණුගම, මහින්ද අමරවීර, විජිතමුණි සොයිසා වැනි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 20කට ආසන්න පිරිසක් දා ඊට සහභාගී වූ බවත් වාර්තාවේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ නොතබා ආණ්ඩුවේ බලය පාර්ලිමේන්තුව තුලදී ප්‍රදර්ශනය කිරීමට අමාත්‍ය සරත් අමුණුගම මහතා කල යෝජනාව එම මන්ත්‍රී කණ්ඩායම විසින් මුළුමනින්ම අනුමත කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එකඟ වී ඇති බවත් පැවසේ.

කෙසේවුවද එහිදී ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය මහින්ද අමරවිර මහතා ගෙන් ඉල්ලා තිබුන ද ඔහු එම ඉල්ලීම ඉටු නොකොට මහනුවර ප්‍රදේශයට ගොස් තිබු බව වාර්තාවේ.

මහින්ද පක්ෂ මන්ත්‍රීවරු 68 යි !

මෙවැනි කාරණා හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දහවල් මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා කැඳවා රාජ්‍ය බුද්ධි සේවා වාර්තා පෙන්වමින්, විශ්වාස භංගයක දී තම කණ්ඩායමට පක්ෂව සිටින්නේ 68 දෙනෙකු පමණක් බව පෙන්වා දී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මෙවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරුණ කොට වෙනත් විකල්පයක් නැතයි ඔවුන් තිදෙනා තීන්දු කොට ඇතැයි පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top