Nov 15, 2018

පාර්ලිමේන්තු ගැටුම් නිසා ආර්ථික අර්බුද උග්‍රවන ලකුණු Featured

පාර්ලිමේන්තුව නොසන්සුන්වීමත් කථානායකවරයා සිය කටයුතු කරගෙනයාමට බාධා එල්ලවීමත් හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 21 වැනිදා දක්වා කල්තබා තිබේ.

අදාළ තත්ත්වය හේතුවෙන් රට ආර්ථික අර්බුදයකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මතය වී තිබේ.

ඒ මේ වන විට අයවැයක් හෝ අයවැයක් සඳහා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකිවීමත්, එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීමට නොහැකිවීමත් නිසාය.

කෙසේවුවද, බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ “වත්මන් දේශපාලන අර්බුදය ආර්ථිකයට ලොකු බලපෑමක් කර නැහැ. දැනට තිබෙන නෛතික ප්‍රතිපාදනවලට අනුව විශාල බලපෑමකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යන්න පුළුවන්. මූලධර්මවලට බාධාවක් නැහැ. විදෙස් ණය ගෙවීමට ප්‍රශ්නයක් නැහැ. විදෙස් මූල්‍ය අංශය කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතිනවා. අයවැයක් ඉදිරිපත් කළ නොහැකි නම් අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම තමයි තිබෙන හොඳම විකල්පය”. බවයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් 5 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේය.

ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top