Nov 15, 2018

ජනාධිපති හා පක්ෂ නායකයින් අතර එකඟත්වයක් ! Featured

අගමැති ධුරයේ කටයුතු කල කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ (14) දිනයේ ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවේ සඳහන් ඇතැම් කරුණු සංශෝධනය කර නීතියට අනුකුලව හා විදිමත්ව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නැයි ජනාධිපතිවරයා එම යෝජනාව ඉදිරිපත්කල පාර්ශවයන්ගෙන් අද පස්වරුවේ ඉල්ලීමක් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාස භංගයට සහයදුන් පක්ෂ නායකයින් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ඉල්ලීම කල බව එම රැස්වීමට සහභාගී වූ පක්ෂ නියෝජිතයෙක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

එක්සත් ජාතික පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගිවී සිටි නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කිසිඳු නියෝජිතයකු ඊට සහභාගිවී නොමැත.

ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ජාව සඳහා කතානායක කරු ජයසුරිය මහතාට ද ආරාධනා කර තිබු අතර ඔහුද ඊට සහභාගී වී සිටියේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ දිනයේ ගෙන ආ විශ්වාස භංග යෝජනාව සංශෝධනය කර හෙට දිනයේම විදිමත් ආකාරයෙන් යලි ඉදිරිපත්කර සම්මත කර ගැනීමට තීරණය වී ඇත.

''එකඟතාවයක් ඇතිකර ගත්තා'' - රවී

 ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවට සහභාගී වූ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා මාධ්‍ය වෙත පැවසුයේ, එම සාකච්ඡාව එකඟතාවයකින් යුතුව අවසන් වූ බවයි.

“ මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්ණය විසදේවි” යැයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

කෙසේවුවද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසියම් විරෝධයක් පලකල බවයි.

තමාට රනිල් වික්‍රමසිංහ මහතා සමග එක කැබිනට් මණ්ඩලයක කටයුතු කල නොහැකි බව ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට අවධාරණය කර ඇති බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top