Sathosa

Nov 17, 2018

"අගමැතිල දෙන්න දෙන්න ඉන්න රටේ අල ගොවියට ගෙවන්න කෙනෙක් නෑ" Featured

“දැන් දෙන්නෙක් කියනව මමයි අගමැති මමයි අගමැති කියලා. ඒ අනුව මේ වනවිට රටේ අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා. එක විෂයට අමැතිවරු දෙන්න ගානේ ඉන්නනවා. ඒත් අල ගොවියාගෙන් මිලදී ගත් අල සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 18ක මුදල් ගෙවීම ආණ්ඩුව පැහැර හරිමින් තිබෙනවා” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (16) පෙරවරුවේ වැලිමඩදී පැවති අල වගාකරන ගොවීන්ගේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික ගුණවර්ධන මහතා, ඌව පරණගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් එච්.එම් කරුණාරත්න මහතා, ප්‍රදේශයේ ගොවි නායකයෝ වන ජයන්ත උපතිස්ස මහතා, අනුර රත්න මහතා එක්වී සිටි අතර ප්‍රදේශයේ අල වගාවේ නිරත ගොවීන් පිරිසක්ද එක්වී සිටියහ.

අල ගොවියාගේ අස්වැන්න රජය මගින් මිලදී ගන්නා බව ප්‍රකාශ කර එම අලවල හොඳම අල ටික රජය විසින් ලබා ගත් නමුත් එම අස්වැන්නට ලැබිය යුතු මුදල් මෙතෙක් ගෙවා නැතැයිද එම ගොවීන් සඳහා මේ වනවිට රුපියල් කෝටි 18ක මුදලක් ලබා ගැනීමට ඇතැයිද එම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය විය.

අගමැතිවරු වෙනස් කළ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කළද මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් තමා අගමැති බව හඳුන්වමින් සිටින්නේයැයිද මාධ්‍යවල විවිධ අවස්ථාවල දෙදෙනාම අගමැති ලෙස සඳහන් කරමින් සිටින බවද සඳහන් කරන නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ කවුරු වෙනස් වුනත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් සිටි ඇමතිවරයා වෙනස් වී නැති බැවින් ගොවි ප්‍රශ්නවලදී වෙන වෙන අයට “බෝල පාස් කිරීම්” සිදු කිරීමට නොහැකි බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණය නිසා අද මුළු රටම අලකලංචියකට පත්වී ඇති බවත් අද පාර්ලිමේන්තුවේ ගහ මරා ගන්නේ “අලයෝ” පිරිසක් බවත් නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

අද තමන් ආණ්ඩුව යැයි හඳුන්වා ගන්නා රාජපක්ෂ කල්ලියේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ගෙනයාම සඳහා කඩු, කිනිසි සටන් පුහුණුවීමට ඇති නිසාත්, කුණු බකට් එයාට මෙහාට පා කරන්න පුහුණුවීම් තිබෙන නිසාත්, කරාතේ, කුම්ෆු වැනි සටන් කලාව ප්‍රගුණ කිරීම ඇති නිසාත් ගොවියා මුහුණ දෙන, සමස්ථ ජනතාවම මුහුණ දෙන ප්‍රශ්න ඔවුන්ට දැනෙන්නේ නැති බවත් නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සඳහන් කළ පරිදිම රුපියල් කෝටි 50ට 60ට මන්ත්‍රීවරු විකිනෙන බවත් ඔය මන්ත්‍රීවරු තමන්ගේ පිල්වලට බිළී බා ගන්න හා එහාට මෙහාට පනින එක නතරකර ගන්න ගෙවන කෝටි ගණන්වලින් රුපියල් කෝටි 18ක් මෙම අල ගොවියාගේ මුදල් ගෙවීමට වෙන් කිරීමට නොහැකි මන්දැයි මෙහිදී නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top