Sathosa

Nov 17, 2018

දිළුම්, ප්‍රසන්න, සොයිසා, ජොනී, අරුන්දික, විමල් හා පාලිත අමාරුවේ වැටෙයි !

දිළුම් අමුණුගම, ප්‍රසන්න රණවීර, රංජිත් සොයිසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ හා පාලිත තෙවරප්පපෙරුම යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විනය නීති හා චර්යායධර්මවලට පටහැනිව හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට කථානායක කරු ජයසූරිය මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

අදාළ මන්ත්‍රීවරුන් පසුගිය 15 හා 16 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු ආකාරය සම්බන්ධ තොරතුරු ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ද එම වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට නියමිත බව පැවසේ.

එහිදී කථානායකවරයාගේ මයික්‍රෆෝනයට හානි සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, කථානායකවරයාගේ ආසනයට බෝතලයකින් ජලය දැමූ හා මිරිස්කුඩු මිශ්‍ර ජලප්‍රහාරයක් එල්ලකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් පිහියක් රැගෙන විත් සභාගැබේ කලහකාරි ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, ඊට අමතරව කථානායකවරයාට කුණුබාල්දියකින් පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා, පුටුවකින් හා පොතකින් කතානායක ආරක්ෂකයින්ට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හා විමල් වීරවංශ යන අය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇති බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ද වරප්‍රසාද කමිටුවේ අවධානය යොමු කිරීමට ද සැලසුමක් ඇතැයි පැවසේ.

අටවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ වරප්‍රසාද කමිටුවේ සාමාජිකයින් දස දෙනකු සිටි අතර එහි සභාපති ලෙස තිලක් මාරපන මහතා කටයුතු කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top