Nov 17, 2018

බයිබලෙන් ගැහුවේ නැතැයි ජොනී කියයි

පසුගිය 16 දා පාර්ලිමේන්තුවේදී තමා විසින් ශුද්ධ වූ බයිබලයකින් දමා ගැසූ බවට විපක්ෂයේ දේශපාලනඥයින් විසින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රචාරයන් බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තමා අදහන ආගමට තමා කොතරම් ගරු කරනවාද යන්න ආගමික නායකයින් හොදාකාරවම දන්නා බවද එහි දැක්වේ.

ජනතාව තුල අප කෙරෙහි අප්‍රසාදයක් ඇතිකරවීමට මෙවැනි ආගම හා ශුද්ධ වූ බයිබලය යොදා ගනිමින් සිදු කරන මඩ ප්‍රචාර වලින් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන බංකොලොත්බව යැයිද ඔහු කියා සිටී.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධී කථානායකවරයාගේ අත්තනෝමතික හැසිරීමට විරෝධය පලකරමින් අප විසින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා කල සටන හා උද්ඝෝෂණ නිසා ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි විය.

එබැවින් විපක්ෂය විසින් ආගම ධර්මය හා ශුද්ධ වූ බයිබලයට පවා අපහාස කරමින් නිහීන දේශපාලනයක් කිරීමට තරම් පහත් මට්ටමකට ඇද වැටීම අතිශය ශෝකජනකය.තවද මෙවැනි ආගම් යොදාගෙන කරන මඩ ප්‍රචාර සදහා රනිල් වික්‍රමසිංහ හා කථානායක කරූ ජයසූරිය අනුබල දීම කණගාටුදායකය.

විශේෂයෙන්ම විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා හරින් ප්‍රනාන්දු රන්ජන් රාමනායක ආණ්ඩුවට මඩ ගැසීම සදහා තමුන් අදහන ආගම පවා පාවිච්චි කිරීම කණගාටුවට කරුණක් වන අතර කණගාටුවකටත් වඩා මා දකින්නේ එය පවුකාරකමක් ලෙසය.වරක් හිටපු මුදල් අමාත්‍යවරයාවූ මංගල සමරවීර දේශපාලනික කරුණු අරභයා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් නිර්දය ලෙස විවේචනය කරද්දි කට වහගෙන සිටි මේ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් රාජ්‍ය ලාංජනය මුද්‍රණය කල පොතක්, ශුද්ධ වූ බයිබලයක් බවට පවසමින් කරන මඩ ගැසීම අතිශයින්ම අප්‍රසන්නය.එබැවින් කතෝලික ආගමවත් ශුද්ධ වූ බයිබලයවත් තමුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා නොගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනු කැමැත්තෙමි.

වීඩියෝව නැරඹීම සදහා මෙතනින් පිවිසෙන්න.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top