Nov 18, 2018

113 කට වැඩි මන්ත්‍රීවරු සමග එජාපය හෙට ජනපති හමුවට

හෙට (19) උදේ 10.00 ට 113 කට වැඩි මන්ත්‍රීවරු සමග දිවුරුම් ප්‍රකාශත් සමග ජනාධිපති හමුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා තිබු සර්ව පාක්ෂික සමුළුවෙන් පසු මාධ්‍යය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු එබව සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් නම් කල අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බව පැවසු අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා, මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසක් සමග ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශද සමග හෙට (19) දින උදැසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් එහිදී පවසා සිටියේය.

ජනපතිගේ අවවාදය !

අද පැවති සර්ව පාක්ෂික හමුවේදී තවදුරටත් පාර්ලිමේන්තුව තුල රණ්ඩු කරගන්න එපා යයි ජනාධිපතිවරයා සියලු දෙනාට අවවාද කර ඇතැයි පැවසේ.

මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

කතානායක කරු ජයසූරිය මහතා මෙම සමුළුවට එක්නොවූ අතර ජනතා විමුක්ති පෙරමුණද මෙම සමුළුව වර්ජනය කළේය.

113 පෙන්වන්නැයි එජාපයට අභියෝගයක් !

මේ අතර, මාතර අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ දිවුරුම් ප්‍රකාශ 113ක් ලබාදී බහුතරය පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top